Thursday, April 23, 2026
HomeදේශීයIMF ණය ලැබෙන්න ආසන්න මොහොතේ විරෝධතා කිරීම දැඩිව හෙළා දකිනවා

IMF ණය ලැබෙන්න ආසන්න මොහොතේ විරෝධතා කිරීම දැඩිව හෙළා දකිනවා

වෘත්තීය සමිති නායකයෝ රැසක් අවධාරණය කරති

දැඩි ආර්ථික අර්බුදයක සිරව සිටි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදලක් ලබාදීමට එකඟතාව පළව තිබෙන අවස්ථාවක බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති කිහිපයක් විසින් දේශපාලන අරමුණු පදනම් කර ගනිමින් හෙට (15) දිනයේ සංවිධාන කර තිබෙන විරෝධතා ව්‍යාපාරය දැඩිව හෙළා දකින බව වෘත්තීය සමිති නායකයන් රැසක් අවධාරණය කර සිටියි.

ඔවුහු පවසන්නේ පෝලිම් යුගය නිමා කරමින් ජනතාව විඳි දුක් අවම වෙමින් යන මේ අවස්ථාවේ සාකච්ඡාමය ලෙස විසඳා ගත යුතු ගැටලු විශාල කරගෙන රට යළි ආගාධයකට ගෙන යාමට මේ අවස්ථාවාදී වෘත්තීය සමිති ක්‍රියා කරන බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, පුනරුදයේ නීතිඥවරු සංවිධානය, කොළඹ ව්‍යාපාරික සංගමය, සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව, ප්‍රගති බැංකු සේවක සංගම් ඇතුළු අධ්‍යාපන, වෛද්‍ය, වරායේ වෘත්තීය සමිති රැසක් මෙම වැඩවර්ජනයට සහාය නොදීමට තීරණය කර තිබේ.

කඩාවැටී තිබෙන රට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන මොහොතක එය නැවත කඩාවැටීමට ලක් නොකර රටේ ආර්ථිකය නැංවීමට කටයුතු කළ යුතු බවත් වෘත්තීය සමිති සංගම්වලින් කළ යුත්තේ තම සංගමය ලාභ ලබන තත්ත්වයකට පත් කිරීම බව කොළඹ ව්‍යාපාරික සංගමයේ මහලේකම් චමින්ද විදානගමගේ මහතා පැවැසීය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබීමට ඔන්න මෙන්න කියා තිබිය දී මේ විරෝධතා ක්‍රියාත්මක කරන්නේ එම වැඩපිළිවෙළ කඩා කප්පල්කිරීමේ කූට අරමුණෙන් බවයි. මේ මොහොතේ ක්‍රියාත්මක කරන විරෝධතාවලට තම සංගමය කිසිසේත් සහාය නොදෙන බවත් මේ අවස්ථාවේ අවශ්‍ය කරන්නෙ රට ගොඩනැඟීම බවත් හෙතෙම කීවේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුවේ සිය සංගමයේ වෘත්තිකයන් කිසිවකු මෙම විරෝධතාවට එක් නොවන බවයි.

රට පුරා සමස්ත හෙද කාර්ය මණ්ඩලය 45000ක් පමණ බවත් සංගමයේ හෙද සාමාජිකයන් 20,000ක් පමණ සිටින අතර ඔවුන් කිසිවකුත් වැඩ වර්ජනයට සම්බන්ධ නොවන බව ද උන්වහන්සේ කීහ. හෙද වෘත්තිකයන්ගේ අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (13) සාකච්ඡාවක් පැවැත්වූ බවත් හෙද අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට එහි දී ජනාධිපතිවරයා එකඟ වූ බවත් උන්වහන්සේ පැවසූහ.

READ:   මුලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙන නිෂ්ප්‍රහ කරයි

මේ අතර බදු සම්බන්ධයෙන් විරෝධතා කරන විට සාමාන්‍ය රෝගීන් පලිහක් කර ගැනීම වැරදි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අවධාරණය කරයි.

මේ අතර ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ මහතා පැවැසුවේ දේශපාලන උසු ගැන්වීම්වලට නතු වී බැංකු පද්ධතිය අකර්මණ්‍ය කිරීම කිසිසේත් සුදුසු නොවන බවයි. රට යම් ස්ථාවරත්වයකට පත් වන මේ අවස්ථාවේ දී කිසිසේත් මෙවැනි වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ද ඊට කිසිදු සහායක් නොදෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්