දේශපාලනඥයන් සහ රාජ්‍ය සේවකයන් නිවැරදිකරුවන් වුවත් වැරැදිකරුවන් වුවත් පොදුවේ දූෂණ චෝදනා එල්ලවෙනවා නමුත් ඒ සියල්ල නිවැරැදිකරගෙන මේ දෙපාර්ශ්වයම ඉතා පිරිසිදුව කටයුතු කළත් ජනතාව වෙහෙස වී වැඩ නොකරනවා නම් මේ රට අර්බුදයෙන් මුදාගත නොහැකියි. විවිධ ව්‍යාපෘති සදහා අනුමැතිය ලබා ගැනීමේදී ඉතා කාර්‍යක්ෂම ක්‍රියාවලියක් අවශ්‍යයි. කම්කරු නීති ආදී විවිධ නීතීන් පැනවීමේදී පොදුජනතාවට සිය ආදායම් වැඩිකරගත හැකි ආකාරයකට ඒවා පැනවිය යුතුයි යනුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ (17) පැවසීය. ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේදී පැවති ප්‍රගති සමාලෝචනය හා 2023 වසරේ ඉදිරි කටයුතු සම්බන්ධව පැවැත්වූ සාකච්ඡාවකදීය.
කාලීන අවශ්‍යතාව සලකා මෙවර අයවැය මගින් සමාජ සුබසාධනය කෙරෙහි වැඩි ඉඩක් වෙන් කොට තිබෙනවා. නමුත් සහනාධාරමත පිහිටා රටක් සංවර්ධනය කළ නොහැකිය.සැබැවින්ම කළ යුත්තේ මාලුවා ලබා දීම වෙනුවට බිලී පිත්තක් ලබා දීමය. එහෙත් මෙතෙක් සිදුව ඇත්තේ අසරණ දිළිඳු පුද්ගලයන්ට අතදී ඔහුව නැගිටවීම වෙනුවට යම් මුදලක් දී සහනාධාර මත යැපෙන තත්වයකට පත්කිරීමයි යනුවෙන්ද අමාත්‍යවරයා අදහස් දැක්වීය.
අමාත්‍යවරයා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබදවද අදහස් දැක්වීය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම ප්‍රමාද නොකළ යුතුව තිබූ දෙයක්.ජාත්‍යන්තර අරමුදල මඟින් ඉදිරිපත් කරන්නේ ඉතාම සාධනීය කාරණාවන් කිහිපයකි.පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් තීරණ ගැනීම සහ අතිරික්ත රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම රටට බරක් නොවන ආකාරයට පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීම ප්‍රධාන කාරණා වේ.
මේ වනවිට ණය ගෙවීම සඳහා ද ණය ගැනීමට සිදුවෙලා ජනතාව බොහෝ දේ බලාපොරොත්තුවෙන් ඉන්නෙ.කවුරුත් කැමතියි විදෙස් රටක සැදූ වාහනයක් පදින්න.නමුත් මේ එයට වෙලාව නෙවෙයි.අපි ලෝකෙට ණය වෙලා වාහන ගෙනත් වැඩක් නෑ.එහෙම කිරීමටනම් අපි මේ රටේ ආර්ථිකය ඉක්මණින් නඟා සිටුවිය යුතුයි.දේශීය ආර්ථිකය නඟා සිටුවීමට නම් දේශීය වශයෙන් නිෂ්පාදන වැඩි කළ යුතුයි.ඒ සදහා කුඩා ව්‍යාපාර වැඩි කර ගත යුතුයි යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
සෑම පුද්ගලයෙක්ටම අධ්‍යාපනයෙන් පසුව රැකියාවක් හිමි වීමේ ක්‍රමවේදයකට අප ගමන් කළ යුතුයි .අමාත්‍යාංශ ව්‍යාපාර බවට පත් කිරීමට අවශ්‍ය නොවුණත් ඒ ඒ අමාත්‍යාංශ හා අනුබද්ධ ආයතන පෞද්ගලික අංශ හා එකට එක්ව ගමන් කරන ක්‍රමවේදයක් මඟින් රට ඉදිරියට ගෙන යා හැකිබව අවසාන වශයෙන් අමාත්‍යවරයා සිහිපත් කළේය.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ජාතික තරුණසේවා සභාපති ආචාර්ය තිරාන් ද සිල්වා අමාත්‍යවරයාගේ උපදේශක සුදත් චන්ද්‍රසේකර ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.



