දේශීය

“ගම්පෙරළිය” පුංචි තිරයට ගෙනා බ්‍රර්ටම් නිහාල්

,90 දශකයේ මෙරට රූපවාහිනී ටෙලිනාට්‍යය කලාව නවමඟකට යොමු කල අධ්‍යක්ෂකවරයෙකි බ්‍රර්ටම් නිහාල්..ඔහුගේ අධ්‍යක්ෂණයන් වූ ගම්පෙරළිය,කඩවර,රුපියල් ශත,දඩබිම වැනි නිර්මාණ ඒ පිළිබඳව සාක්ෂි සපයයි..

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “ගම්පෙරළිය” කෘතිය ඇසුරින් බට්ට්‍රම් නිහාල් අධ්‍යක්ෂණය කළ “ගම්පෙරළිය” ටෙලිනාට්‍යය මෙරට බිහිවූ විශිෂ්ටතම ටෙලිනාට්‍යය වලින් එකක් ලෙස අදටත් සැලකේ, මේ ගම්පෙරළිය ටෙලිනාට්‍යය නිර්මාණය වූ අන්දම ගැන බර්ට්‍රම් නිහාල් මහතා පැවසූ මතකාවර්ජනයකි….

ගම්පෙරළිය” නවකතාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් වුණු පොතක්නේ. ඒක නිසාම මම එවකට රූපවාහිනියේ අධ්‍යාපන අංශය භාරව කටයුතු කරපු ඉන්ද්‍රාණි ගුණරත්න මහත්මියගෙන් සැරයක් ඇහුව “ගම්පෙරළිය” ටෙලි නාට්‍යයට නැගුවොත් කොහොමද කියලා. ඒ යෝජනාව එතුමිය හිස්මුදුණින් පිළිගත්තා. ඒ වෙලාවෙම එතුමිය මාවත් එක්ක ගියා එවකට නාට්‍ය අංශ ප්‍රධානියා විදියට කටයුතු කරපු ධම්ම ජාගොඩ ළඟට. ගිහින් ධම්ම ජාගොඩට මම කරපු යෝජනාව ගැන කිව්වා. කියපු ගමන්ම ධම්ම ජාගොඩත් මේ යෝජනාවට කැමති වුණා. ධම්ම කිව්වා “මේක ටිකක් බැරෑරුම් වැඩක්. හැබැයි බට්ට්‍රම් ඒක හරියට කරයි කියලා විශ්වාසයි.” කියලා. ඒ වෙලාවෙ ධම්ම ජාගොඩ මේ යෝජනාවට අකමැති වුණානම් මේක නොකෙරෙන්න තිබුණා. ධම්ම ජාගොඩ කියන්නේ ඕනෑ කෙනෙකුගේ දක්ෂතාවක් ඉවෙන් වගේ අඳුනගත්තු කෙනෙක්. විශේෂයෙන්ම තරුණයින් ගැන ලොකු විශ්වාසයක් ධම්මට තිබුණා. “ගම්පෙරළිය” කරන්න පටන් ගන්නකොට මට අවුරුදු විසිහයයි. “ගම්පෙරළිය” ටෙලි නාට්‍යයක් කරන්න පටන් ගැනීම මගේ ජීවිතේ ගත්තු ලොකුම අභියෝගයක්.

අපි “ගම්පෙරළිය” කරන්න තීරණය කරලා වික්‍රමසිංහ පවුලෙ උදවිය එක්ක සාකච්ඡා කළා. ඒ අය ඉතාම හොඳ අනුග්‍රහයක් අපට දැක්වුවා. විශේෂයෙන්ම වික්‍රමසිංහ දියණිය රූපා සපරමාදු මහත්මිය මේකට ගොඩක් කැමති වුණා. ඒ වගේම වික්‍රමසිංහ පුතුන්වන එස්.කේ. වික්‍රමසිංහත් රංග වික්‍රමසිංහත් මේකට ඉතා හොඳ ප්‍රතිචාරයක් තමයි දැක්වුවෙ.

“ගම්පෙරළිය” ටෙලිනාට්‍ය තිර රචනය ලියවෙද්දි තමයි මට මේ කතාව පිළිබඳ ගැඹුර වැඩි වැඩියෙන්ම දැනෙන්න පටන් ගත්තේ. මේ තිර රචනය ලිව්වෙ තිස්ස අබේසේකර. තිස්ස මට හැම දෙයක්ම ඉතාම පැහැදිලි ලෙස විග්‍රහ කළා. මම මුලින් හිතුවෙ සීමිත පසුතල කීපයක මේ ටෙලිනාට්‍ය රූගත කිරීම් කරන්න පුළුවන්වෙයි කියලා. ඒත් තිස්ස අබේසේකරගෙ තිර රචනයේ තිබුණේ දැවැන්ත දර්ශන තල. තිස්ස තමයි මට මේ වැඬේ තියෙන බරපතළකම කියා දුන්නේ. තිස්ස තිර රචනය ලියලා දර්ශනයෙන් දර්ශනය මට තේරුම් කරලා දුන්නා. අපි තිර රචනය සාකච්ඡා කළා දවස් කීපයක්. තිස්ස තමයි මේ වැඬේ පිටිපස්සේ ඉඳපු යෝධ සෙවනැල්ල. තිස්ස තිරරචනයෙන් කළ යුතුයි කියලා කියපු කිසිම කාරණයක් මම අමාරුයි කියල අත ඇරියේ නෑ. තිස්සගෙ බරපතළ තිර රචනයේ හැම අභියෝගයක්ම මම භාරගත්තා. ලොකු කාල පරාසයක් අහුවෙන තිරරචනයක් මේක. ඒකට සරිලන විදියට පසුතල නිර්මාණය කිරීම ලේසි පහසු වැඩක් නෙවෙයි. තිස්ස තිර රචනයේදී චිත්ත රූප මැවෙන ආකාරයට ඒක ලියලා තිබුණා. අවසන් තිර රචනය කියවලා බැලුවම මට හිතුණා මේක මගේ ජීවිතයේ කඩ ඉමක් කියලා. තිස්ස මේ ටෙලි නාට්‍ය තිර රචනය ලියන්න ඔහු ඇසුරු කළ සිනමාවේ අභාසය ලබා ගත්තා. මං හිතන්නෙ තිස්ස ලියපු ඉතා විශිෂ්ට ටෙලි නාට්‍ය තිර රචනය “ගම්පෙරළිය” කියලා.

ගම්පෙරළිය” ටෙලි නාට්‍යයේ කැමරාකරණ කටයුත්ත කළේ අපේ රටේ ඉන්න විශිෂ්ට කැමරා අධ්‍යක්ෂවරයෙක් වන එම්.ඩී. මහින්දපාල. ටෙලිවිෂන් තාක්ෂණය ඒ තරම් නොදියුණු කාලෙක අපි අලුත් අත්හදාබැලීම්වලටත් ගියා මේ එක්කම. අලුත් වර්ණ සංයෝජනයක් අපි මේකෙදි අත්හදා බැලුවා. ඒවා ගොඩක් අයගෙ අවධානයට ලක් වුණාද කියන එක නම් ප්‍රශ්නයක්. ඒත් ඒ කාලේ හැටියට ඒවා අලුත් දේවල්.

ඒ වගේම මෙහි තේමා සංගීත නිර්මාණය කතාවට හරියටම ගැලපුනා ..එහි ගෞරවය සරත් ප්‍රනාන්දුට හිමිවිය යුතුයි …

“ගම්පෙරළිය” ටෙලිනාට්‍ය කරන්න සූදානම් වෙද්දි මේකෙ “කාස්ටින්” පැත්ත ගැන ගොඩක් හිතුවා. ඒ කියන්නේ කවුද මේ චරිතවලට තෝරගන්න නළු නිළියො කියලා. මේ ගැන තිස්ස අබේසේකරයි මමයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපි ගොඩක් අය මේ සඳහා යෝජනා කරලා බැලුවා. අපි තෝරාගත්තු ඇතැම් අය මුලදී කැමතිවෙලා චරිතය ගැන කිව්වම අකමැතිත් වුණා. ඒ අයටම චකිතයක් ඇති වෙන්න ඇති මේ වගේ චරිතයක් කරන්න පුළුවන්ද කියලා. අපි හැම දේටම විකල්ප තියාගෙන තමයි වැඩ කළේ. තිස්ස තමයි ඒ උපදෙස මට දුන්නේ. ඒත් අපි ප්‍රධාන චරිතවලට තෝරපු නළු නිළියො බොහෝ දෙනෙක් හරියටම හරි ගියා කියලා හිතනවා. වසන්ත කොටුවැල්ල, මොරින් චාරුනී, ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, සෝමලතා සුබසිංහ ඇතුළු නළු නිළි කැලක් මේකට එකතු වුණා. ප්‍රවීණ නළු නිළියෝ රැසක් මෙහෙයවන්න ලැබීම මටත් විශාල අත්දැකීමක්. මොකද මේක මගෙ දෙවෙනි ටෙලිනාට්‍යය.

මේ කතාව ටෙලි නාට්‍යයක් කරනවට ප්‍රසාදය පළ කරපු විශේෂ පුද්ගලයෙක් තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස්. ධම්ම ජාගොඩයි ඉන්ද්‍රානි ගුණරත්නයි මමයි ගිහින් ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මේ ගැන කිව්වම එතුමා බොහොම සතුටු වුණා.

මේ ටෙලිනාට්‍ය කළේ ජාතික රූපවාහිනියෙ නිෂ්පාදනයක් විදියට. ඒක නිසා රූපවාහිනී කාර්ය මණ්ඩලයත් මේකට ලොකු උනන්දුවක් දැක්වුවා. අපිත් එක්ක වැඩ කරපු සියලුමදෙනා තමන්ගෙම වැඩක් වගේ හිතලා තමයි මේකට කැප වුණේ. මොකද මේක දුෂ්කර රූපගත කිරීමක්. ගොඩක් මහන්සි වෙන්න වුණා හැමෝටම. අද ටෙලිනාට්‍ය කරන හැටි දැක්කම හිතෙනවා අපි ඒ කාලේ කොහොමද වැඩ කළේ කියලා.

ගම්පෙරළිය”ට එකතු වුණු නළු නිළියො පිරිසගෙන් ලැබුණු සහයෝගයත් සුවිශේෂයි. ඒ අයත් තම තමන්ට ලැබුණු චරිතවලට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කළා. පියල්ගෙ චරිතය රඟපාපු වසන්ත කොටුවැල්ලගෙන් ඊට කලින් කවුරුවත් හරියට වැඩක් අරගෙන තිබුණෙ නෑ. මොරින් චාරු

“ගම්පෙරළිය”ට එකතු වුණු නළු නිළියො පිරිසගෙන් ලැබුණු සහයෝගයත් සුවිශේෂයි. ඒ අයත් තම තමන්ට ලැබුණු චරිතවලට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කළා. පියල්ගෙ චරිතය රඟපාපු වසන්ත කොටුවැල්ලගෙන් ඊට කලින් කවුරුවත් හරියට වැඩක් අරගෙන තිබුණෙ නෑ. මොරින් චාරුනී නන්දාගෙ චරිතය ගැන විශාල වශයෙන් හොයලා කරුණු ඉගෙන ගෙන තමයි ඒකට ආවේ. මට ඕනෑ වුණේ අපි චිත්‍රපටියේ දැකපු නන්දා සහ පියල්ම නෙවෙයි. අපි ගොඩක් මේ ගැන නළු නිළියො එක්ක සාකච්ඡා කළා. වැඬේට කලින් සහ වැඬේ අතරතුර තිස්ස අබේසේකරයි, මමයි අනිත් අයයි මේ ගැන විවිධ පැතිවලින් කතාබහ කළා. ඒකෙදි ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ වගේ ප්‍රවීණයන්ගෙන් සරු අදහස් එකතු වුණා.

අපි රූපගත කිරීම්වලදී වගේම ඒ මුළු කාලය පුරාම කොච්චර දුෂ්කරතා මැද වුණත් විනෝදයෙන් තමයි කාලය ගත කළේ. ජෝ අබේවික්‍රම වගේ කෙනෙක් සෙට් එකක ඉන්නකොට ඉතිං කියන්න දෙයක් නෑ නේ. ඒ වගේම තමයි ඒ අය මං වගේ අලුත් අධ්‍යක්ෂ වරයෙක් කෙරෙහි දක්වපු කාරුණික බව. ඒ අය ප්‍රවීණයි කියලා කිසිම වෙලාවක කටයුතු කළේ නෑ. ජෝ අබේවික්‍රමගෙ එක දර්ශනයක් විසි එක්පාරක් ගන්න වුණා මට මතකයි. විසි එක්වෙනි පාර අරගෙන ඒක නම් හරි කිව්වට පස්සෙ ජෝ මගේ ළඟට ඇවිත් මාව බදාගෙන “උඹ නම් යකෙක් තමයි” කියලා කිව්වා.

ගම්පෙරළිය” ජාතික රූපවාහිනියේ මුලින්ම විකාශනය කරද්දී විනාඩි 50 කොටස් දහයක් විදියටයි පෙන්නුවෙ. දෙවෙනි වතාවෙ අනුග්‍රහය දක්වපු අය පැය භාගෙ කොටස් විදියට සකස් කරලා ඉල්ලුවා. ඒ විදියට තුන් සැරයක් ජාතික රූපවාහිනියේ අනුග්‍රාහකත්වයන් යටතේ පෙන්නුවා. ඊට අමතරව විභාග පැවැත්වෙන කාලවලට එහෙමත් විකාශනය වුණා.

“ගම්පෙරළිය” ටෙලි නාට්‍යයට ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. ඒක තමයි සතුටට කාරණය. පුද්ගලිකවම මටත් ජාතික රූපවාහිනියටත් විශාල ප්‍රතිචාරයක් ආවා. බොහෝ දෙනා බට්ට්‍රම් නිහාල් කියන අධ්‍යක්ෂවරයා පිළිබඳ අවධානය යොමු කළා. “ගම්පෙරළිය” ටෙලිනාට්‍යයත් එක්ක. ප්‍රේක්ෂක ප්‍රතිචාරය උසස් මට්ටමක තිබුණත් විචාරකයින්ගෙ පැත්තෙන් පටලවා ගැනීම් එහෙම තිබුණා. ගොඩක් අය මේක චිත්‍රපටිය එක්ක පටලගෙන විචාරය කළා. ඒ දෙක සංසන්දනය කිරීමක් තමයි විචාරකයො වැඩිපුර කළේ. පොතට පිටින් ටෙලිනාට්‍යයට යම් යම් දේ එකතු කළා කියලා තවත් අය කිව්වා. හැබැයි ඒ එකතු කිරීම් තිස්ස අබේසේකර තිර රචනය ලිවීමේදී කළේ ඉතාම දැනුවත් භාවයෙන්. “ගම්පෙරළිය” නවකතාව වගේම මාර්ටින් වික්‍රමසිංහගේ “අපේ ගම” සහ “උපන්දා සිට” පොත් දෙකත් ඇසුරු කරගෙන තිස්ස ලොකු අධ්‍යක්ෂණයකින් පස්සෙ තමයි මේ තිර රචනය ලිව්වෙ. ගොඩක් විචාරකයින්ට මේක අහුවුණේ නෑ. අනික ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙ “ගම්පෙරළිය” චිත්‍රපටියට මුවාවෙලා ඉඳගෙන “ගම්පෙරළිය” ටෙලිනාට්‍ය දිහා බලන එක හරි දෙයක් නෙවෙයි. මේ ගැන හොඳ අවබෝධයකින් නිරීක්ෂණය කරපු අයත් කීප දෙනෙක් හිටියා.

ගම්පෙරළිය” නරඹපු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා මට බොහොම ප්‍රශංසා කළා. දවසක් මට එතුමා මුණ ගැහෙන්න ගෙදරට එන්න කියලා මේ ගැන කතා කළා. එදා මම එතුමට කිව්වා එතුමගේ අවසරය ලැබෙනවනම් මම කැමතියි “මළගිය ඇත්තෝ” සහ “මළවුන්ගේ අවුරුදුදා” පාදක කරගෙන ටෙලි නාට්‍යයක් කරන්න කියලා. “ගම්පෙරළිය” නාට්‍ය නරඹලා මං පිළිබඳ තියපු විශ්වාසය උඩ එතුමා ඒ යෝජනාවට ඉතාම සතුටට පත්වුණා. මම ඒ යෝජනාව ජාතික රූපවාහිනියට දැනුම් දුන්නම රූපවාහිනියේ ඒ වෙලාවෙ ඉඳපු ඉහළ බලධාරීන් ඒකට අදි මදි කළා.

ධම්ම ජාගොඩ එතකොට රූපවාහිනියෙ හිටියෙ නෑ. ධම්ම මියගියේ “ගම්පෙරළිය” විකාශනය ඉවරවුණු කාලෙම වගේ. ඒක නිසා එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම කෘති යුගල රූපයට නැගීමේ මගේ බලාපොරොත්තුව පස්සට ගියා.

මගේ ටෙලිනාට්‍ය ජීවිතයේ සුවිශේෂ කඩ ඉමක් සටහන් කිරීමක් විදියට තමයි “ගම්පෙරළිය” ටෙලිනාට්‍යය මම දකින්නේ. අදත් මට ඒ පිළිබඳව ප්‍රතිචාර ලැබෙනවා විවිධ අවස්ථාවලදී. ඒකෙන් පැහැදිලි වෙනවා මම ඉතුරුවෙන යමක් කළා කියලා.

(පුවත්පතක පළවූ ලිපියක් ඇසුරිනි )

උපුටා ගැනීම

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

8 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago