මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකාවට සහාය දෙමින් රුපියල් ලක්ෂ 887ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට එවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.
තමිල්නාඩු ප්‍රාන්ත රජය මඟින් මේ අත්‍යවශ්‍ය ඖෂධ තොගය ශ්‍රී ලංකාවට පිරිනැමීමට පියවර ගෙන තිබෙන අතර මෙරටට එවීමට නියමිතව තිබෙන අදාළ ඖෂධ තොගය තමිල්නාඩු ප්‍රාන්තයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන ඇමැති එම්. සුබ්‍රමනියම් මහතාගේ නිරීක්ෂණයට ලක්වූ බව ද වාර්තා වෙයි.
වත්මන් ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග සැලකිල්ලට ගෙන එයින් ඉදිරියට ගමන් කිරීම සඳහා සහාය දීමක් වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය මඟින් රුපියල් කෝටි 28ක අත්‍යවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවට එවීමට සැලසුම් කර තිබෙන අතර මෙය එහි පළමු පියවර වෙයි.
මෙලෙස ශ්‍රී ලංකාවට සහාය දීමට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය මඟින් යෝජනාවක් ද සම්මත කරගෙන තිබෙන අතර ඖෂධ වර්ග 137ක් මෙලෙස ශ්‍රී ලංකාවට එවීමට නියමිතය. කෙසේ වුවද මේ මුල් අදියර සඳහා ඖෂධ වර්ග 55ක් ශ්‍රී ලංකාවට එවීමට සැලසුම් කර තිබෙන අතර ඒවා විශාල ප්‍රමාණයේ පෙට්ටි 700කට පමණ ඇසුරුම් කර තිබෙන බව ද වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයකට මේ අත්‍යවශ්‍ය ඖෂධ තොගය යවන්නේ ද යන්න ශ්‍රී ලංකා රජය තීරණය කරන බව ද අමාත්‍යවරයා පවසයි. ශ්‍රී ලංකාවට ඖෂධ දීමට ඉදිරිපත් වූ රටේ පළමු ප්‍රාන්තය තමිල්නාඩුව වීම විශේෂත්වයකි.
මහින්ද අලුත්ගෙදර -දිනමිණ


