කොළඹ සිට වටරැක බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස්රථයකින් රැගෙන යමින් සිටි පුනරුත්ථාපනය වන රැඳවුවන් පිරිසකට ප්‍රකෝපකාරීන් පිරිසක් විසින් ඊයේ (09) මාලබේ තලාහේන ප්‍රදේශයේදී කළ පහර දීමකින් රැඳවූවන් 10 දෙෙනකු සහ බන්ධනාගාර නිළධාරින් කීපදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මේ අවස්ථාවේ දි ඇති වූ කලබලකාරී තත්ත්වය හමුවේ මෙම බස් රථයේ සිටි තවත් රැඳවුවන් 58 දෙනෙකු මේ වන විට මගහැරී ඇතැයි ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුනරුත්ථාපනය වන මෙම රැඳවුවන් 30 ක පමණ පිරිසක් ,වැඩසහන ක්‍රමය යටතේ කොල්ලලුපිටිය සිලක් ආයතනය වෙතත් ,රුඳවුවන් 105 ක් රාජගිරිය ප්‍රදේශයේ අයිකොනික් ආයතනයේත් බත්තරමුල්ල මාගා ආයතනයේත් ඉදිකිරීම් කටයුතු සදහා උදෑසන සේවයේ යෙදවීමෙන් පසු සවස් කාලයේ ආපසු රැගෙන ඒමින් සිටියදී මෙම පහරදීමට ලක්වී ඇත.
ඊයේ සවස රට තුළ ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මෙම සිරකරුවන් නැවත වටරැක බන්ධ නාගාරය වෙත රැගෙන එන අවස්ථාවේදී තලාහේන ප්‍රදේශයේදී කලහකාරී පිරිසක් විසින් බන්ධනාගාර බස්රථ වලට ප්‍රහාර එල්ලකර ඇති අතර කලබලයට හා බියට පත් මෙම රැඳවුවන් පිරිස බස්රථවලින් බැස තිබේ.ඒහිදී මෙම සිරකරුවන් හා බන්ධනාගාර නිළධාරින්ට තුවාල සිදු වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීයි .
ඊයේ (09) රට තුල පැවැති කලහකාරී ක්‍රියා සඳහා යොදා ගත් බවට ඇතැම් සමාජ මාධ්‍ය පුවත් පළ කර තිබූ බවත් එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.
බන්ධනාගාර පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ රැඳවුවන් පුහුණු ශ්‍රමිකයන් බවට පත් කිරීමේ වැඩසටහනට මෙම සිරකරුවන්ද බන්ධනාගාර නිළධාරින් ගේ රැකවරණය යටතේ දායක කර ඇති බවත් ඒම සිරකරුවන් කිසිසේත් රට තුළ ඇතිවූ කලහකාරී ක්‍රියාවන් ට සම්බන්ධ නොමැති බවත් කොමසාරිස්වරයා අවධාරණය කරයි.
දැනට බන්ධනාගාර රැකවරණයෙන් මිදී පළාගොස් සිටින සිරකරුවන් 58 දෙනා සම්බන්ධව තොරතුරක් දන්නේ නම් ඔවුන්ට කිසිඳු හින්සාවක් නොකර බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත හෝ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දන්වා සිටින ලෙසත් උපුල්දෙණිය මහතා ඉල්ලීමක් කරයි.
report : dinamina


