පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් පිළිබඳ නිසි පරිදි පරීක්ෂණ නොකිරීම ඇතුළු චෝදනා යටතේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම හෝ රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීම වළක්වන අතුරු නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඊයේ (18) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9(1) වගන්තිය යටතේ තමන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ඇමැතිවරයා ලෙස රැඳවුම් නියෝග නිකුත් කිරීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මේ පෙත්සම් මඟින් ශානි අබේසේකර මහතා ඉල්ලා ඇත.නිර්නාමික පෙත්සමක් මත කරන ලද බව කියන කූඨ විමර්ශන වාර්තාවකට අදාළව තමන්ට එරෙහිව ගොනු කර ඇති 1411/2022 දරන එම බී වාර්තාව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ද මේ පෙත්සම මඟින් ඉල්ලා ඇත.
යම් හෙයකින් තමන් අත්අඩංගුවට ගත හොත් වහාම මුදා හරින ලෙස නියෝග කරන ලෙස ද ඒ වෙනුවෙන් රුපියල් මිලියන සියයක වන්දි මුදල් දෙන ලෙස ද පෙත්සම්කාර ශානි අබේසේකර මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ලමාහේවා, එහි කාන්තා පොලිස් පරීක්ෂක නිරෝශනී පතිරණ, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කවින්ද පියසේකර, මහජන ආරක්ෂක ඇමැති, එම අමාත්‍යාංශ ලේකම් නීතිපති ඇතුළු දහ හතර දෙනකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.
තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස 2017-2019 කාලවල කටයුතු කළ බව පෙත්සම්කරු ඉන් පසු වැඩ තහනමට ලක් කළ බව ද දිගු කාලයක් අසාධාරණ ලෙස බන්ධනාගාරගතව සිටින බව ද පවසයි.
පාස්කු දින වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වගකිවයුතු බවට චෝදනා කරමින් 2021 /13/26 දා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්නාමික පෙත්සමක් ලැබී ඇති බව ද ඒ මත විමර්ශන කළ බව කියමින් බී වාර්තාවක් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉකුත් පෙබරවාරි මස 10 දා ඉදිරිපත් කළ බව ද තමන්ට දැන ගැනීමට ලැබුණු බව පෙත්සම්කරු කියයි.
සහරාන්ගේ බිරියගේ නිවෙසට ගිය පරීක්ෂණ කණ්ඩායමට එම පරීක්ෂණ නිසි ලෙස කිරීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි ශානි අබේසේකර මහතා උපදෙස් නොදුන් බවට එමඟින් චෝදනා කර ඇතැයි ද පෙත්සම්කරු පවසයි.තමන්ට එරෙහිව අත්තනෝමතික සහ අසාධාරණ අසත්‍ය ලෙස කරුණු ඇතුළත් කර එම වාර්තාව සකස් කර ඇතැයි පෙත්සමෙහි සඳහන් වේ.
එම වාර්තාව මත තමන් කවර හෝ අවස්ථාවක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි බවට මේ පෙත්සම මෙඟින් ශානි අබේසේකර මහතා පෙන්වා දී ඇත.
දිනමිණ වාර්තාවකි


