Sunday, April 19, 2026
Homeදේශීයසංවර්ධනයට නම් පුරාවිද්‍යාව සහ සංචාරක කර්මාන්තය එකට එක්ව කටයුතු කළ යුතුයි -...

සංවර්ධනයට නම් පුරාවිද්‍යාව සහ සංචාරක කර්මාන්තය එකට එක්ව කටයුතු කළ යුතුයි – නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය

පුරාවිද්‍යාව සහ සංචාරක කර්මාන්තය එකට එක්ව කටයුතු කළහොත් මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් දියුණු කර ගත හැකි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

එම සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීමේ අරමුණින් පළාතේ පුරාවිද්‍යා ස්ථාන වැඩිදියුණු කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කළ බවද ආණ්ඩුකාරවරිය කීවාය.

තොප්පිගල නරකමුල්ල වනාන්තරයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන පිළිබඳව පළාත් සභා ප්‍රතිපාදන යටතේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් කරන ලද ගවේෂණවල වාර්තාව සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට පිළිගැන්වීමේ අවස්ථාවට පසුගියදා එම අමාත්‍යංශයේදි එක් වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.

නරකමුල්ල, කුඩුම්භිගල චූලකාඩු, අක්කරායන්කුලම්, වැසිබැන්දගල හා මුරුතතානි ඇතුළු තොප්පිගල වනාන්තරයේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන 9ක් මෙම වාර්තාවට අනුව ගවේෂණය කර තිබේ.

කෙසේ වෙතත් මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන ඉතා කඩිනමින් ජනතාවට දැක බලා ගැනිම සඳහා කටයුතු කිරීමට ද මෙහිදි එකඟතාවය පළ විණි. එය තවදුරටත් කඩිනම් කිරීම සඳහා නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලය සහ සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබද රාජ්‍ය අමාත්‍යංශය අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමටද මෙම හමුවේදි තිරණය කෙරිණි.

ඒ අනුව, මේ මස අවසන් වීමට ප්‍රථම අදාළ අවබෝධතා ගිවිසුම ඇති කර ගැනීමට ද යෝජනා විය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය මෙසේ ද පැවසුවාය.

“ මම පසුගිය වසර 2ක කාලය තුළ නැගෙනහිර පළාතේ ඇති පුරාවිද්‍යා ස්ථාන බොහෝ ප්‍රමාණයක සංචාරය කළා. එහිදී තේරුන්ගිය එක දෙයක් තමයි මේ ස්ථාන සංචාරකයන්ට විවෘත කරන්න ඕනේ.ඒ හරහා සංචාරක කර්මාන්තය දියුණු වෙනවා. ඊට අමතරව අපේ රටේ පුරාවිද්‍යාව විෂයක් විදිහට පාසල් තුළට ඇතුළත් විය යුතුයි. අපි අවුරුදු 2500ක ඉතිහාසයක් තියෙන රටක්. වෙන බොහෝ රටවල් වලට ඒක නෑ. එම නිසා මෙම තොරතුරු අනාගත පරපුරට දායාද කිරීම අත්‍යවශ්‍යයි” යැයි ද ආණ්ඩුකාරවරිය කීවාය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍යංශ ලේකම් නිශාන්ති ජයසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනුතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ,මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

READ:   මහවැලි කලාපවල වගාබිම් ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්