Saturday, April 18, 2026
Homeදේශීයමිනී මැරුම් නඩුවකින් මරණ දඬුවම නියම වූ 10 දෙනකුට අභියාචනාධිකරණයෙන් නිදහස

මිනී මැරුම් නඩුවකින් මරණ දඬුවම නියම වූ 10 දෙනකුට අභියාචනාධිකරණයෙන් නිදහස

උල් ආයුධවලින් ඇන කඩුවකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කොට හලාවත මහාධිකරණය විසින් මරණ දඬුවම් නියම කර සිටි විත්තිකරුවන් දස දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

මහාධිකරණයේදී ඔවුන්ට සාධාරණ නඩු විභාගයක් නොලැබුණු බවට තීරණය කරමින් අභියාචනාධිකරණය මෙම තීරණය දුන්නේය. තමන්ට මරණ දඬුවම් නියම කළ මහාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සමක් විභාග කර එහි තීන්දුව දෙමින් අභියාචනාධිකරණය මේ බව සඳහන් කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අභියාචනාධිකරණය විනිසුරු සම්පත් අබේකෝන් යන මහත්වරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

මෙලෙස නිදහස් කරනු ලැබූයේ නිමල් අජිත් ප්‍රනාන්දු, චමින්ද පිලිප් මිල්රෝයි, ජෙරාඩ් සුගත් ප්‍රනාන්දු, පැට්‍රික් ඔස්වල්ඩ්, අජිත් ඇන්ටන් පීරිස්, ජෝෂප් ටෝනි විජේන්ද, ඩොනල්ඩ් සමන්ත පීරිස්, චමින්ද තුෂාර, සනත් ප්‍රනාන්දු අය වේ.

පිලිප් මිල්රෝයි නමැති විත්තිකරු නඩු විභාගය අතරදී මිය ගොස් ඇත. මාරවිල මුදුන්ගොඩ ප්‍රදේශයේදී 2001 .06.21.දින ලයනල් ප්‍රනාන්දු නම් පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩු පවරා තිබුණි. එම නඩුව විභාග කර එහි තීන්දුව 2019.02.08 දෙමින් විත්තිකරුවන්ට මරණ දඬුවම් නියම කරන ලදී. එම තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය තීන්දු කර ඇත්තේ මහාධිකරණ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි පරස්පර විරෝධී බවය. එහෙත් ඒ පිළිබඳ අධිකරණයේ අවධානය යොමු වී නැතැයි මෙම අභියාචනාධිකරණ තීන්දුවෙහි සඳහන් වේ.

එමගින් විත්තිකරුවන්ට අසාධාරණයක් සිදුව ඇති බවට විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ.

ජනාධිපති නීතිඥවරුන් වන අනිල් සිල්වා, පාලිත ප්‍රනාන්දු, මහත්වරුන් නීතීඥවරුන් වන නෙරන්ජන් ජයසිංහ, ඉන්දිකා මල්ලවආරච්චි, සහ ෂෙහාන් ද සිල්වා විත්තිකාර අභියාචකයන් වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ වසන්ත බණ්ඩාර මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

දිනමිණ වාර්තාවකි

READ:   ජනපති නිවසට ගිනි තැබූ සැකකරු රිමාන්ඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්