මානව ශිෂ්ටාචාරයේ දියුණුවත් සමඟ මූලික මිනිස් අවශ්‍යතා දිනෙන් දින ඉහළ යන්න විය. ඒ මූලික මිනිස් අවශ්‍යතා අතර තමන්ගේ යැයි කිව හැකි ස්ථිර නිවාස ලාභියකු ලෙස මිය යන තුරා ජීවත්වීම සෑම පුරවැසියකුගේම එකම අපේක්ෂාවයි. අපේ රටේ ගොවිබිම් හරහා ඇති වූ ජනපද ව්‍යාපාරවල මුල සිටම තාවකාලික නිවාස ද පසුව ස්ථිර නිවාස ද සාදා ගැනීමට රජයෙන් ආධාර ලබා දුන් බව 40 දශකයේ අවසාන කාලපරිච්ඡේදයේ දේශපාලන තොරතුරු සොයා බැලීමේදී පැහැදිලිවේ.
ගොවිජනපද ව්‍යාපාරවල එකල ඉලුක් සෙවිලිකොට කටුමැටියෙන් තැනූ නිවාස තිබී ඇත. මේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වැඩිදියුණු කිරීමට කටයුතු කළේය. 1960 පිහිටු වූ සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව යටතේ ස්ථිර නිවාස යෝජනාක්‍රම ආරම්භ කිරීමට පියවර ගත්තේය. ඒ අනුව කන්ද උඩරට වතුකරයේ රජයේ ඉඩම් සමඟ ස්ථිර නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කළේය. මේ ස්ථිර නිවාස තැනීමේ යෝජනා ක්‍රමය මුලින්ම ආරම්භ වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. නුවරඑළියේ ශාන්තිපුරය නමින් ආරම්භ කළ මේ නිවාස වැඩසටහන එවකට නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වූ ටී.විලියම් ප්‍රනාන්දු මහතාගේ යෝජනාවක් අනුව ලංකාවේ උසම ගම්මානය වන ‘ශාන්තිපුරය’ නමින් අද හඳුන්වන ගම්මානය ආරම්භ කළේ 1960 දශකයේ මුල් අවදියේය. මේ නිවාස වැඩපිළිවෙළ අභයපුර, ගජබාපුර, ගාමිණිපුර, විජිතපුරආදි නම්වලින් ආරම්භ කළ ගම්මාන රැසකි. 1965 වසරේ බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නිවාස උප ඇමැතිවරයා වූ ආර්.ප්‍රේමදාස විසින් ද පූට්ටු ගෙවල් නමින් හැඳින්වූ තවත් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළේය. මේ පූට්ටු නිවාස ව්‍යාපෘතියෙන් එවකට නිවාස උප ඇමැතිවරයා වූ ආර්.ප්‍රේමදාස මහතා ජනප්‍රිය මෙන්ම වැඩක් කළ හැකි මහජන නියෝජිතයකු බවට පත් විය.
ව්‍යාපාර කේන්ද්‍රස්ථානයක්
මේ යුගයේ කොළඹ විසූ ජනයා ලංකා සමසමාජ පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල සාමාජිකයන් වූ බව නොරහසකි. විශේෂයෙන් වරාය, දුම්රිය දෙපාර්තමේන්තුව, කොලොන්නාව රජයේ පොදු වැඩපොළ, කොළඹ මහ නගර සභාව ආදි ස්ථානවල සේවය කළ කම්කරු ජනතාව වූහ. මොවුන්ගේ දේශපාලනය ශක්තිමත් කළේ පැරණි වමේ දේශපාලනයයි. උතුරු කොළඹ,මැද කොළඹ,බොරැල්ල යන ආසනවල මොවුන් ජීවත්විය. ස්ථිර නිවාසයකට හිමිකම් නොවූ මේ පිරිස වෙනුවෙන් ඉතාම ක්‍රමවත් නිවාස වැඩ පිළිවෙළක් ආරම්භ කළ යුතු බව 70 බලයට පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුව කල්පනා කළේය.
ඒ අනුව සමගි පෙරමුණු ආණ්ඩුව ඉතාම විද්‍යාත්මකව හා තාක්ෂණික ක්‍රම උපයෝගි කර ගනිමින් මහල් නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කළේය. එහි දී සමාජවාදි කඳවුරේ රජයන් වූ කොරියාව,රුසියාව, චෙකොස්ලොවිකියාව, රුමේනියාව ආදි රටවල නිවාස යෝජනා ක්‍රම ආදර්ශයට ගනිමින් ඉතාම ක්‍රමානුකූලව අපේ රටේ දිළිඳු ජනයා වෙනුවෙන් නාගරික මහල් නිවාස යෝජනා ක්‍රම ආරම්භ කිරීමට පියවර ගත්තේය. එය විද්‍යාත්මක සහ පරිසර හිතකාමී නාගරික නිවාස යෝජනා ක්‍රමයක් විය. එහි නිර්මාතෘවරයා වූයේ පසුව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ ද, එවකට සමඟි පෙරමුණු ආණ්ඩුවේ නිවාස ඉදිකිරීම් අමාත්‍යවරයා වූ අභාවප්‍රාප්ත පීටර් කෙනමන් මහතා බව අවිවාදයෙන් තොරව සිහිපත් කළ යුතුව ඇත. මොරටුව,සොයිසාපුර මහල් නිවාස යෝජනා ක්‍රමය, සර්පන්ටයින් නිවාස යෝජනා ක්‍රමය, කොටහේන මහල් නිවාස යෝජනා ක්‍රමය ආදි මහල් නිවාස යෝජනා ක්‍රම රැසක් පීටර් කෙනමන් මහතා ආරම්භ කළ බව එම ස්ථානවල තබා ඇති මුල්ගල්වලින් සාක්ෂ්‍ය සපයයි. මාලිගාවත්තේ වර්තමාන මැද කොළඹ රෝහල පිහිටුවා ඇති භූමියේ තිබෙන සිහිවටන ඵලකයේ ලියා ඇත්තේ මේ ස්ථානය ගොඩකළ වගුරු බිමකි යනුවෙනි. මාලිගාවත්තේ විශාල වගුරු බිමක් ගොඩකර ආර්.ප්‍රේමදාස මහතා නිවාස උප ඇමැතිවරයා වශයෙන් සිටියදී මේ ස්ථානයේ මාලිගාවත්ත නිවාස යෝජනා ක්‍රමයේ එක් අදියරක් ආරම්භකොට ඇත. ඒ යුගයේ අද තරම් පරිසරවේදීන් නොවූ නිසා පිකටිං උද්ඝෝෂණ කරන්න කිසිවකු නොසිටින්නට ඇත. ප්‍රේමදාස මහතාට විරුද්ධව කටක් අරින්න කිසිවකු නොසිටියේ මන්ද යන්න ද ගැටලුවකි. වගුරුබිමක් යනු ජල ෆිල්ටරයකි. (පෙරණයකි) අධිසංවේදී පරිසරයකි. වර්තමාන කොළඹ නගරය ගත් කල්හි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, ඉහළ පෙළේ හෝටල් සහ අවන්හල්වලින් පිරී යමින් නවමු නාගරික අත්දැකීම් රැසක් නිර්මාණය වෙමින් පවතී. නගරය දේශීය හා අන්තර්ජාතික වශයෙන් ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත්වූවත් ඉඩකඩ සම්බන්ධයෙන් විශාල ගැටලුවක් ඇති බව පෙනෙන්න ඇත. එහෙත් මානව සමාජයේ පැවැත්ම සඳහා මේ සියල්ල සිදු විය යුතු බව ද නොරහසකි. එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මානව සංවර්ධන වාර්තාව දකින්නේ ‘ආර්ථික වර්ධනය කෙළවර වන්නේ මානව සංවර්ධනයෙහි අග්‍ර ඵලයෙන්’ බවයි. එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකාව විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම කෙරෙහි අවධානය වැඩි ජනගහනයක් කේන්ද්‍රගතව සිටින නගර අලංකාර කිරීම සඳහා මිලියන ගණන් ආයෝජනය කිරීම ඕනෑම රටක ඕනෑම රජයකින් සිදු විය යුත්තකි. ජනගහනයෙන් 15%කට වැඩි ප්‍රමාණයක් දැන් නාගරික ප්‍රදේශවල පදිංචි වී සිටින බැවින් නාගරික ජනගහනය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතියි. ශ්‍රී ලංකාවේ නාගරික ව්‍යාප්තිය එතරම් ඉහළ අගයක් ගන්නා නමුත් කොළඹින් සුදුසු නිවසක් සොයා ගැනීම අපහසු වී ඇත. මෙයට ප්‍රධාන සාධකය වී ඇත්තේ දැරිය හැකි මිලකට සාමාන්‍ය කෙනකුට නිවෙස් සොයාගත නොහැකි වීම සහ ඉඩම්වල ඇති හිඟකම බව පැහැදිලිය.
2018 දී කොළඹ සාමාන්‍ය නිවසක මිල (වාර්ෂික 50% ක වර්ධනයක් සමග) රුපියල් මිලියන 165.74 ක් බවට පත්විය. එදා සිටම අද දක්වාම මහල් නිවාස ගොඩනැගීම විශාල සමාගම්වලට සීමා වූවක් නොවන්නේය. තිරස්ව ජීවත් වෙනවා වෙනුවට සිරස්ව ඉහළට නිවාස ගොඩනැඟීම ලොව පුරා බහුලව සිදුවන දෙයකි. භූමියේ ඇති සීමිත ඉඩකඩින් උපරිම ප්‍රයෝජන ගැනීම, මෙම නිවාසවල දැරිය හැකි මිල, පහසුව සහ වාසි සහගත බව මෙහිදී සැලකිල්ලට ගෙන ඇත. එනම් නාගරිකකරණයට කැමැති ජනයාට තමන්ගේ ජීවන වියදම සමඟ පාසල් රෝහල් ආදි පොදු පහසුකම් කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කොට ඇත.
සිරස් ජීවන රටාව
රටක් සංවර්ධනය වනවා යනු මානව අවශ්‍යතා ද සංවර්ධනය වන්නකි. ඒ අනුව දැනට සිරස් අතට ගොඩනැඟෙන ගොඩනැඟිලි කොළඹ නගරය පුරා පැතිර ඇති බව පෙනේ. ඒ තුළින් සුවපහසු ජීවන රටාවකට හුරු ජනයාට ද නවමු අත්දැකීම් රැසක් ජනිත කොට ඇත. එයට නිදසුනක් ලෙස සඳහන් කළොත් Cinnamon life, one Galle face සහ Capital Twin Peaks වැනි ව්‍යාපෘති දැක්විය හැකිය. නිව්යෝර්ක්වල සිට ෂැංහායි දක්වා ලොව පුරා නගර සිරස් ජීවන රටාවක් වෙත ශීඝ්‍රයෙන් ගමන් කරමින් සිටියි. විශේෂයෙන් තිරසර සංවර්ධනයකට මුළු ලෝකයම ගමන් කරන යුගයක අඩු ඉඩ ප්‍රමාණයකින් විශාල වැඩ කොටසක් ඉටුවීම සහ සාප්පු සංකීර්ණ පමණක් නොව විවිධ මිනිස් අවශ්‍යතාවලට සරිලන අයුරින් මෙම මහල් නිවාස හෙවත් සිරස් ජීවන රටාවකට ජනතාව හැඩ ගැස්වීමට පියවර ගෙන ඇත. තමන්ගේ දෛනික කටයුතු නිවාස ආශ්‍රිතවම කර ගැනීමට නේවාසික ජනතාවට හැකියාව ලැබී ඇත. GYM එකට යන්න දවසට අවශ්‍ය ආහාර සපයා ගැනීම සහ අනෙකුත් බඩු භාණ්ඩ මිලදී ගැනීමට කළ යුත්තේ යාබද ගොඩනැඟිල්ලට පිවිසීම පමණකි. මේවා “සිරස් නගර” වශයෙන් හඳුන්වා දීමට පුළුවන.
දිළිඳු ජනයා වෙනුවෙන්
කොළඹ නගරයේ අඩු ආදායම්ලාභි පවුල් බහුතරයකින් සමන්විත වී ඇත. කොළඹ කුරුඳුවත්ත, බාන්ස් පෙදෙස, රොස්මිඩ් පෙදෙස, වෝඩ් පෙදෙස, ග්‍රෙගරි මාවත, කොල්ලුපිටිය, බොරැල්ල, වැල්ලවත්ත, බම්බලපිටිය ආදි කොටගත් ප්‍රදේශවල ධනවතුන් සිටියත් ජන සංඛ්‍යාව අනුව ගත්කල කොටහේන, දෙමටගොඩ, බ්ලුමැන්ඩල්,මට්ටක්කුලිය, වනාත මුල්ල,කොස්ගස් හන්දිය ආදි කොටගත් ප්‍රදේශවල වතු සංස්කෘතියකට හිමිකම් කියූ දිළිඳු ජනයා බහුතරයක් වූහ. අනවසර ඉදිකිරීම් කිසිදු සනීපාරක්ෂක සේවාවක් නොතිබුන ජනතාවක් මෙම වතුවල වාසය කළේය. පැල්පත් මුඩුක්කු ආදී වශයෙන් ගත් මෙම අනවසර ඉදිකිරීම්වල ජීවත් වූ ජනී ජනයා එදිනෙදා සිය ජීවිකාව කර ගෙන ජීවත් වූ පිරිසකි. පොදු වැසිකිළියක්, පොදු කරාමයක් හිමි වී තිබූ මෙම අසරණ ජනතාවට අලුත් සංස්කෘතියක්, අලුත් සදාචාරයක් ඇති කිරීමට පුළුවන් වූයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ සමයේ සිටය. විශේෂයෙන් පාතාලය රජ කරමින් කුඩු ජාවාරම එකම ජීවන වෘත්තිය කරගත් පිරිසක් මේ වතුවල ජීවත්විය.
බ්ලුමැන්ඩල් කුණු කන්ද ආශ්‍රිතව මේ පිරිස ජීවත්වූහ. එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ කොළඹ මුඩුක්කු ජන ජීවිතයට තිත තැබීමට පියවර ගත්තේය. සියලුම අනවසර ඉදිකිරීම්වල ජීවත් වූ ජනතාවට අලුත් නිවසක සුව පහසුව විඳීමේ වාසනාව එතුමා උදාකර දුන්නේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශීර්වාදය මතිනි. ඔවුන්ගේ ජන ජීවිතය ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය. එදා මුඩුක්කු ජීවිතයෙන් අද මහල් නිවාසයක සියලු පහසුකම්වලින් පරිපූර්ණ ජීවිතයක් ලබා දීමට එතුමා පියවර ගත්තේය. එදා පොදු වැසිකිළිය අද නැත. ඒ වෙනුවට ඉතා හොඳ සනීපාරක්ෂක වැසිකිළියක් සැම නිවසකටම හිමි වී ඇත. එදා තිබූ පොදු කරාමය වෙනුවට අද නාන කාමරයක් සමඟ උයා පිහා ගැනීමට හොඳ මුළුතැන්ගෙයක් හිමි වීම ජන දිවිය අලුත් කිරීමට හේතු විය. අපිරිසුදුකම,අපිළිවෙළ වෙනුවට ක්‍රමවත් විධිමත් ක්‍රියා පිළිවෙළකට ජීවිතය සකස් කර ගැනීමට මාර්ගය සාදා දුන් බව සිහිපත් කළ යුතුව ඇත. මේ වනවිට කොළඹ නගරයේ වතු සංස්කෘතිය වෙනුවට අලුත් සංස්කෘතියක් බිහි වී ඇත. උතුරු කොළඹ,මාදම්පිටිය කොට්ඨාසයේ සංඝබෝධි විදුහලට යාබදව අක්කර 02 ඉඩම අඩු ආදායම්ලාභී දිළිඳු ජනයාට නිවාස ඒකක 700ක මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත. රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති යදාමිණි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ කටයුතු ආරම්භ කළහ. නාරාහේන්පිට පොල්හේන්ගොඩ කාලිංග මාවතේ ඉදිකෙරුණු නිවාස 528 කින් යුත් මහල් නිවාස යෝජනා ක්‍රමය කොළොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණය පසුගියදා විවෘත වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතිනි. නිවාස 528 කින් යුත් මේ නිවාස ව්‍යාපෘතිය සඳහා මිලියන 1,900ක (බදු රහිත) මුදලක් වැයකොට ඇත. මේ නිවාස සංකීර්ණයේ නිවාස 144ක් කොළඹ සරසවියේ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනයට පරිත්‍යාග කර ඇත. නිවාස 192කින් යුත් එක් ගොඩනැඟිල්ලක් මේ නිවාස සංකීර්ණයට ඉඩම ලබා දුන් කාලිංග මාවතේ සිටි පවුල්වලට සහන ගෙවීමේ පදනම යටතේ ලබා දී ඇත. ඒ සඳහා කිසිදු පොලියක් අය නොකිරීම එහි ඇති විශේෂත්වයයි.
ඉතිරි නිවාස 192ක් සහිත මහල් ගොඩනැඟිල්ල කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේදී ඉවත් කළ අනවසර පදිංචිකරුවන්ට නොමිලේ ලබා දී ඇත.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්



