Sunday, April 19, 2026
Homeදේශීයගෑස් ආශ්‍රිතව යම් ගැටලුවක් ඇතිවුවහොත් සමාගම්වලින් වන්දි ගෙවන ක්‍රමවේදයක් සකසන්නැයි මානව...

ගෑස් ආශ්‍රිතව යම් ගැටලුවක් ඇතිවුවහොත් සමාගම්වලින් වන්දි ගෙවන ක්‍රමවේදයක් සකසන්නැයි මානව හිමිකම් කොමිෂමෙන් නිර්දේශ

ගෑස් සිලින්ඩර ආශ්‍රිතව යම් ගැටලුවක් ඇතිවුවහොත් අදාල ගෑස් සමාගම්වලින් පාරිභෝගිකයාට වන්දි ගෙවන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කළේය.
 
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම නිර්දේශය කළේ MediaLK.com වෙබ් අඩවියේ සංස්කාරක තරිඳු ජයවර්ධන සහ  ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනු කළ පැමිණිලි දෙකක් ඊයේ (17) දෙවැනි දිනටත් කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම නිර්දේශය කළේය.
 
පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් MediaLK.com සංස්කාරක තරිඳු ජයවර්ධන, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ඇතුළු පිරිසක් නීතිඥ සේනක පෙරේරා සහ නීතිඥ ප්‍රබෝධ රත්නායක මහත්වරු සමඟ‍ෙ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටියහ. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තෙෂාර ජයසිංහ මහතා සහ ඔහුගේ ලේකම්වරයකු ලිට්‍රෝ සමාගම වෙනුවෙන් පැමිණ සිටි අතර ලාෆ් ගෑස් සමාගම, ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ කාර්මික තාක්ෂණ ආයතන නියෝජනය කරමින් ඒ්වායේ නිලධාරීහු පිරිසක් ද සාක්කිකරුවන් ලෙස මානව හිමිකම් කොමිසම ඉදිරියේ පෙනී සිටියහ.
 
පැමිණිල්ල විමර්ශනය කරනු ලැබුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන වෛද්‍ය එම්.එච්.නිමල් කරුණාසිරි සහ අනුෂයා ශම්මුගනාදන්, අධ්‍යක්ෂවරුන් වන සුලාරි ලියනගම සහ නිහාල් චන්ද්‍රසිරි, විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලාල් වීරසිංහ සහ විමර්ශන නිලධාරීන් පිරිසක් ඉදිරියේ ය.
 
විමර්ශනය ආරම්භ කරමින් පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අදහස් දක්වමින් තරිඳු ජයවර්ධන ප්‍රකාශ කළේ ලිට්‍රෝ සමාගම මෙම පැමිණිල්ලේ සාක්කිකරුවකු නොව වගඋත්තරකරුවකු ලෙස නම් කළ යුතු බවයි. රාජ්‍ය ආයතනයක් වන ලිට්‍රෝ සමාගම , පොලිස්පතිවරයා සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ද මෙහි වගඋත්තරකරුවන් ලෙස අලුතෙන් එකතු කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය. 2009 සැප්තැම්බර් 30 වැනිදාතමින් අංක 1621/19 යටතේ පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ප්‍රමිති ආයතනය නිකුත් කර ඇති ප්‍රමිති, පිරිවිතර සහ භාවිත සංග්‍රයට අනුකූල වන්නේ නම් මිස එල්පී ගෑස් නිපදවීම, ගෙන්වීම, බෙදා හැරීම හෝ ප්‍රදර්ශනයට තැබීම නොකළ යුතු බවත්, ගෑස් සමාගම් එම චක්‍රලේඛය උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවත් පැමිණිලිකරුවෝ කීහ.
 
ලීටර 18 ගෑස් සිලින්ඩර වෙළඳපොළෙන් යළි කැඳවන ලෙස අප්‍රේල් මස 20 වැනිදා පාරිභෝගික සේවා අධිකාරිය ලිට්‍රෝ සමාගමට කර ඇති නියෝගය නොසලකා ලිට්‍රෝ සමාගම කටයුතු කර ඇති බව ද, ගෑස්වල සංයුතිය වෙනස් කිරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කර කළ යුතු බව ද, පර්යේෂණ නියැදියක් ලෙස පාරිභෝගිකයන් භාවිත කිරීම නීති විරෝධී බව ද පැමිණිලිකරුවෝ ප්‍රකාශ කළහ. එනිසා දැනට ප්‍රශ්නගත ගෑස් වෙළඳපොළේ තිබේනම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, විමර්ශනය අවසන්වී පූර්ණ නිර්දේශයක් ලබා දෙන තෙක් ඒ සම්බන්ධයෙන් අතුරු නිර්දේශයක් හෝ ලබා දෙන ලෙසත් පැමිණිලිකරුවෝ ඉල්ලා සිටියහ.
 
පසුගිය අප්‍රේල් මාසයේ ගෑස්වල සංයුතිය වෙනසකට ලක්කරමින් සිලින්ඩර නිකුත් කර තිබූ බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පිළිගත්තේය. තමා සභාපති ලෙස වැඩබාරගත් පසු එය නිවැරදි කළ බවත්, පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව ගැන සමාගම වඩාත් සැලකිලිමත් වන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය. ගෑස් සිලින්ඩර ආශ්‍රිතව වූ සිදුවීම් ගෑස් සංයුතියේ ගැටලුවක් නිසා සිදුවූවාදැයි තවම තහවුරු වී නැතැයි ද, ප්‍රශ්නගත ගෑස් සිලින්ඩර යළි කැඳවීම සිදු කළ බව ද ඔහු කීවේය. විමර්ශනය අතරතුර ජනාධිපතිවරයාගෙන් කැඳවීමක් ලැබී ඇතැයි කියමින් ලිට්‍රෝ සභාපතිවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් පිටවී යාමට සූදානම් වූ අතර පිටවී යාමට පෙර සමාගමට අදාල ප්‍රශ්නවල පිළිතුරු ලබා දෙන ලෙස කොමිසම ඔහුට දැනුම් දුන්නේය. ඒ අනුව එම වස්ථාවේ යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් සභාපතිවරයා ඉතිරි ගැටලුවලට පසුව පිළිතුරු සපයට බවට පොරොන්දුවී කොමිසමෙන් පිටව ගිය අතර ඔහුගේ ලේකම්වරයා විමර්ශනය අවසන්වන තෙක් රැඳී සිටියේය.
 
ලාෆ් ගෑස් සමාගම කිසිම අවස්ථාවක එහි සංයුතිය වෙනසකට ලක් කර නැති බව එහි නියෝජිතයෝ ප්‍රකාශ කළහ. වැඩි වශයෙන් ගෑස් ප්‍රශ්න මතුවන්නේ නිසි ප්‍රමිතියකින් තොර ගෑස් උඳුන්, රෙගෙයුලේටර් සහ බට නිසා බව ද, ගෑස් සම්බන්ධයෙන් ලැබෙන සෑම පැමිණිල්ලක්ම තම ආයතනය විමර්ශනය කරන බව ද ලාෆ් ගෑස් සමාගමේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
 
ආයතනයේ ගෑස් සිලින්ඩරයට හරියන ගෑස් ලිප හෝ රෙගෙයුලේටරයේ ප්‍රමිතිය ගැන ලාෆ් ආයතනයෙන් යම් නිර්ණායකයක් තිබේද යන්න පැමිණිලි පාර්ශ්වය විමසා සිටි අතර එවැන්නැක් නැතැයි සමාගමේ නියෝජිතයෝ කීහ. ගෑස් ලිප්, රෙගියුලේටර් හෝ බටවල ප්‍රමිතිය සම්බන්ධයෙන් නිර්ණායක නැතිව පාරිභෝගිකයා පිට වරද පැටවීම වැරදි බව පැමිණිලි පාර්ශ්වය කියා සිටි අතර ලාෆ් ගෑස් සමාගම ප්‍රකාශ කළේ ප්‍රමිති නිර්ණායක නොමැතිවීම සහ නිසි නියාමනයක් නොමැතිවීම ගැටලුවක් බව තමන්ද පිළිගන්නා බවයි. ගෑස් සම්බන්ධයෙන්ද නිසි ප්‍රමිති නිර්ණායකයක් නිකුත් කර නැති බවත්, ප්‍රමිති ආයතනය නිකුත් කර ඇති නිර්ණායකවල ද ගැටලු ඇති බවත් ලාෆ් ගෑස් සමාගම කීවේය.
 
ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දුවීම් සිදුවීම් පසුගිය කාලයේ රැසක් වාර්තා වූ බව ද, ගෑස් උඳුනේ හෝ රෙගෙයුලේටරයේ ප්‍රශ්නයක් නිසා සිලින්ඩරයෙන් ගෑස් කාන්දු වීමක් සිදු නොවන බව ද, ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවීමේ සිදුවීම් ගැන සමාගම් වගකීම බාර ගත යුතු බව ද පැමිණිලි කරුවෝ කීහ. ඊට පිළිතුරු දෙමින් ගෑස් සමාගම් ප්‍රකාශ කළේ ඇතැම් අවස්ථාවලදී සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවීම් සිදුවිය හැකි බවයි. එසේ සිදුවන්නේ කලාතුරකින් බවත් ඔවුහු කීහ.
 
ප්‍රශ්නගත කාලයේ නිකුත් කළ ගෑස් සිලින්ඩර 570ක් අද සවස්වන විට යළි කැඳවීමට පියවර ගන්නා බව ලාෆ් සමාගම කීවේය. නිසි ප්‍රමිතියෙන් යුත් ගෑස් තොගයක් ආනයනය කර ඇති බවත්, එය තවම ශ්‍රී ලංකාවට ලැබී නොමැති බවත්, වෙළෙඳපොළේ ලාෆ් ගෑස් හිඟයක් ඇත්තේ එම ගෑස්තොගය එනතුරු බවත් ලාෆ් සමාගම කීවේය.
 
ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ප්‍රශ්න සහගත සිලින්ඩර වෙළදපොළට යොමුකිරීම නිවැරදි කළ බව කීවද, එලෙස නිසි අවසරයක් නැතිව සංයුතිය වෙනස් කිරීමට අදාලව නීතිය ක්‍රියාත්මක වී නැතැයි පැමිණිලිකරුවෝ කියා සිටියහ. ඊට පිළිතුරු දෙමින් ලිට්‍රෝ සමාගමේ නියෝජිතයකු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් යන බවයි.
 
ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් කාර්මික තාක්ෂණ ආයතනය පර්යේෂණ කර ඇත්දැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කාර්මික තාක්ෂණ ආයතනයේ නියෝජිතයන්ගෙන් විමසා සිටි අතර ඔවුන් ප්‍රකාශ කළේ එවැනි පර්යේෂණයක් කර නැති බවයි. එවැනි පර්යේෂණයක් කිරීමට ආයතනයේ පහසුකම් නැති බවත්, තම ආයතනයෙන් එවැනි පර්යේෂණයක් කිරීමට ගෑස් සමාගම් ගිවිස ගන්නේ නම් ඒ සඳහා පහසුකම් සැකසීමට තමන් සූදානමින් සිටින බවත් කාර්මික තාක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.
 
ගෑස් සමාගම් සහ වගකිවයුතු ආයතන මොන දේ කිව්වත් ගෑස් ආශ්‍රිත සිදුවීම් මහපොළොවේ තවමත් වාර්තා වන බවත්, ආයතන වගකීම් පැහැර නොහැර ලාබ පසුපස නොයා පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු බවත්, ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට නම් වැරදි පිළිගෙන අඩුපාඩු සකස් කර ගත යුතු බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා ප්‍රකාශ කළේය. 2009 වසරේ පාර්භෝගික සේවා අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය කියැවූ නීතිඥවරයා අවධාරණය කළේ ආයතන වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් නිසි පියවර ගතයුතු බවත්, පරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්ය.
 
සියලු පර්ශ්වවලට සවන් දුස් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයේ අයතනයක් වන ලිට්‍රෝ සමාගම වගඋත්තරකරුවකු ලෙස නම් කරන බව ප්‍රකාශ කළේය.  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරු සහ අධ්‍යක්ෂවරු පැමිණ සිටි ගෑස් සමාගම් දෙකේ නියෝජිතයන්ගෙන් මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළහ.
 
ගෑස් මිලදී ගැනීමේදී සිදු කරන තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තා සහ ගෑස් සම්බන්ධයෙන් සිදුකළ සියලුම පර්යේෂණ වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලිට්‍රෝ සමාගමට සහ ලාෆ් සමාගමට නියෝග කළේය. 
 
ප්‍රශ්නගත ගෑස් වෙළඳපොළේ නැතිබවට පාරිභෝගිකයන්ට සහතික වන ලෙස සමාගම්වලට නිර්දේශ කළ කොමිෂන් සභාව ගෑස් අනතුරු සම්බන්ධයෙන් අදාල සමාගම් පාරිභෝගිකයන්ට වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද නිර්දේශ කළේය. ගෑස් සම්බන්ධයෙන් පාරිභෝගිකයා තුළ ඇතිවී තිබෙන බිය තුරන් කිරීමට ගෑස් සමාගම්වලට වගකීමක් ඇති බව ප්‍රකාශ කළ මානව හිමිකම් කොමිෂන් සභාව ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සමාගම්වලට දැනුම් දුන්නේය.
 වාචිකව ඉදිරිපත් කළ කරුණු ලිඛිත දේශයක් සේ ලබා දෙන ලෙස කොමිසම සියලුම පාර්ශ්වයන්ට දැනුම් දුන්නේය.

READ:   හමුදාව කරන නිරෝධායන මධ්‍යස්ථාන වල වත්මන් තත්ත්වය - Shavendra Silva

RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්