දේශීය

ලොකු වටිනාකමක් ඇති, පුංචි පහසුකම් රැගත් නව නිමැවුම් හයක්

අඛණ්ඩව දිගු වේලාවක් උපැස් යුවළක් පැලැඳ සිටීම අපහසුය. දෙනෙතම තදින් ආවරණය වන නිසා දහඩිය දැමීම නිතර සිදු වෙයි. එසේම උපැස් යුවළ කනට තද නොවීම නිසා එය කනෙන් ගැලැවී පහතට වැටීම උපැස් පලඳින බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවකි. මෙය කෙනකුට කල්පනා කිරීමට තරම් ගැටලුවක් නොවුණත් උපැස් පලඳින බහුතරයක් මුහුණ දෙන ගැටලුවකි.

ප්‍රශ්නය සුළු වුවත්, විශාල වුවත් එයට පිළිතුරක් සොයා ගත යුතුය. එහිදී පිහිටට එන්නේ අලුත් සිතිවිලිය. එසේ සිතට පැමිණෙන නවමු අදහස් ලෝකය මෙතරම් දියුණු වීමට හේතූන්ය. ඉදිරියටත් තව තවත් දියුණු වීමට හේතූන්ය. ගාල්ල උපනන්ද ජාතික පාසලේ තරුෂ හිම්සරත් අලුත් සිතිවිලිවලින් ගහන සිසුවෙකි. සම්මානයට පාත්‍ර වන තරමට උපන් හැකියාවන් රැසකගෙන් සන්නද්ධ වූවෙකි.

උපැස් යුවළ

මේ වන විටත් සම්මානයට පාත්‍ර වී ඇති නව නිර්මාණ රැසක්ම බිහි කර ඇති ගාල්ල පින්නදූවේ ජීවත් වන තරුෂගේ සිතේ ජනිත වූ නවමු අදහසක් ලෙස වැඩ කරන විට පහතට නොවැටෙන සේම අපහසුවකින් තොරව දිගු වේලාවක් භාවිත කළ හැකි උපැස් යුවළක් (Easy Used Spectacles) නිර්මාණය කර තිබේ.

ඉහත සඳහන් ගැටලු ද්විත්වයටම පිළිතුරු එක නිර්මාණයෙන් සැපයීමට තරුෂ සමත්ව සිටියි. කනට සිර වන සේ සකස් වුණු උපැස් යුවළ පැලැඳ සිටින විට මුහුණට සුළං ධාරා ලැබෙන ආකාරයෙන් නිර්මාණය කිරීමට තරුෂ සමත්ව සිටියි. උපැස් යුවළේ අග කනට සිර වන සේ තැනුවත් ස්පොන්ජ් එක් කර ඇති නිසා දිගු වේලාවක් පැලැඳ සිටිය ද කිසිදු අපහසුතාවක් ඇති නොවේ.

සපත්තු/ සෙරප්පු අඩිය

සාමාන්‍ය පෙළ සිසුවකු වන තරුෂගේ තවත් සුවිශේෂී නව නිර්මාණයක් වන්නේ දෙපතුලේ තුවාලවලට හානි නොවන සපත්තු/ සෙරප්පු අඩියයි (Nature Slippers). විශේෂයෙන්ම තුවාල සහිත දියවැඩියා රෝගීන්ට මෙම සෙරප්පුව මහත් පිටිවහලකි. මෙහි විශේෂත්වය වන්නේ යටි පතුලේ තුවාලයක් ඇති විට එම තුවාලය සෙරප්පු අඩියේ නොගෑවෙන ලෙස එම සෙරප්පු අඩියේ අදාළ ලේයරය ඉවත් කිරීමට ඇති හැකියාවයි. එවිට තුවාලය එම මතුපිට නොගෑවීම නිසා තුවාලය නොපෑරෙන අතරම, තුවාලයට වාතාශ්‍රය ද මනාව ලැබේ. යටි පතුලේ තුවාලය ඇති ස්ථානය අනුව රබර් ලේයර සහිත මෙම සෙරප්පුව පැලැඳීමේ දී අනෙක් සෙරප්පු හා සමාන පෙනුමක් ලැබෙන අතර, එය විශේෂ ආකාරයෙන් තනා ඇති බවක් නොපෙනීම ද විශේෂත්වයකි.

මුල්ලුවක් සහිත රබර් අත්වැසුම

ගෙවතු වගා පහසු කරවන මුල්ලුවක් සහිත රබර් අත්වැසුම (Planting Hand) තරුෂගේ තවත් නව නිර්මාණයකි. සාමාන්‍ය රබර් අත්වැසුමක් වෙනස් කර, එයට මුල්ලුවක් එක් කර එදිනෙදා ගෙවතු වගා කටයුතු කරගත හැකි ආකාරයට මෙය නිර්මාණය කර තිබේ. මුල්ලුව භාවිතය අනවශ්‍ය අවස්ථාවලදී සාමාන්‍ය කටයුතු සඳහා මෙම අත්වැසුම භාවිත කළ හැකිය. පොළොව හෑරීම සහ පස් ඉවත් කර ගැනීමට මෙම අත්වැස්ම භාවිත කළ හැකිය. මේ හරහා වෙනමම උපකරණයක් භාවිතයෙන් තොරව කුඩා ගෙවතු වගා කටයුතු කර ගැනීමට හැකිය.

ආරක්ෂිත විදුලි ස්විචය

තරුෂගේ තවත් සුවිශේෂී නව නිර්මාණයක් වන්නේ ආරක්ෂිත විදුලි ස්විචයයි (Safety Switch). මෙම ස්විචයේ විශේෂත්වය වන්නේ මෙහි අභ්‍යන්තරයට කුමන ආකාරයෙන් හෝ ජලය හෝ දූවිලි ගමන් නොකිරීමයි. තරුෂ ඒ සඳහා විශේෂිත බාහිර ආවරණයක් එක් කර තිබේ. එම නිසා දිගු කාලයක් මෙම ස්විචය භාවිත කිරීමට හැකිය.

ඉහත නව නිර්මාණ හතරම ඇතුගල්පුර ලියෝ බහු මණ්ඩල සමාජය විසින් පසුගියදා පැවැත්වූ ‘අයිඩියා ටෙක්’ නව නිර්මාණ තරගාවලියට ඉදිරිපත් කළ අතර, එහි ජයග්‍රාහී අවසන් දස දෙනාගේ කණ්ඩායමට එක්වීමට තරුෂ සමත්ව තිබේ. ඒ ආරක්ෂිත විදුලි ස්විචය සහ සෙරප්පු අඩිය වෙනුවෙනි.

විදුලි ලාම්පුව

2020 වසරේ නව නිර්මාණ කොමිසම සංවිධානය කළ ‘සහසක් නිමැවුම්’ නව නිර්මාණ තරගාවලියේ දී ඉලෙක්ට්‍රොනික අංශයේ රන් පදක්කම දිනා ගැනීමට ද තරුෂ නිම්සර සමත් විය. ඒ ඔහුගේ සංකල්පයක් මත නිර්මාණය කළ කියැවීම පහසු කරවන විදුලි ලාම්පුව සඳහාය. ලියන මේසයට සවි කරන මේස ලාම්පුව ආදර්ශයට ගනිමින් නිර්මාණය කළ මෙම විශේෂිත විදුලි ලාම්පුව පොතට සවි කර කියවීම පහසු කර ගත හැකිය. මෙම නව නිර්මාණය සම්මානයට පාත්‍ර වන්නේ එහි ඇති තවත් සුවිශේෂි ලක්ෂණයක් හේතුවෙනි. පොතට සවි වන ලාම්පුව ඕනෑම දිශාවකට කරකවා (Rotate) භාවිත කළ හැකිය. වෝල්ට් 1.5 බැටරි ද්විත්වයකින් බල ගැන්වෙන මෙම විදුලි ලාම්පුවේ බර ග්‍රෑම් 60ක් පමණ වේ.

හෙල්පිං හෑන්ඩ්

තරුෂගේ තවත් වටිනා නිර්මාණයක් වන්නේ ‘හෙල්පිං හෑන්ඩ්’ නැතිනම් අතැඟිලි අහිමි අයට ආහාර ගැනීමට සකසා ඇති නිර්මාණයයි. අතැඟිලි හෝ අතේ වැළමිට තෙක් අහිමි අයට මෙම උපකරණය භාවිත කර වෙන කෙනකුගේ සහයෙන් තොරව ආහාර ගැනීමට හැකිය. මෙම උපකරණයට හැන්දක්/ ගෑරුප්පුවක් සවි කළ හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇත. ඊට අමතරව මෙම උපකරණයට පෑනක්/ පැන්සලක්/ පාට කූරු සවි කර විවිධ ක්‍රියාකාරකම්වල යෙදීමේ හැකියාව ද ඇත. කෘත්‍රිම අතකට වඩා බරින් අඩු මෙහි සහසක් නිමැවුම් තරගාවලියේ පළාත් මට්ටමේ දෙවැනි ස්ථානය දක්වා පැමිණ සහතිකයක් දිනා ගැනීමට ද සමත්ව තිබේ.

නවමු සිතිවිලිවලින් ගහන තරුෂ නව උපකරණ නිර්මාණයට පමණක් නොව නව සිතිවිලි ග්‍රන්ථවලට එක් කිරීමට ද සමතෙකි. ස්ව නිර්මාණ ඇතුළත් ග්‍රන්ථ 18ක කතුවරයකු වන හෙතෙම එයින් ග්‍රන්ථ 14ක්ම මුද්‍රණ ද්වාරයෙන් එළි දක්වා ඇත.

2019 වසරේ සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගාවලියේ සිව් වැනි ස්ථානය දිනා ගත් තරුෂ නිම්සර විෂයයකට දෙකකට පමණක් දක්ෂතා දක්වන්නෙක් නොවන බව පෙන්නුම් කර සිටියේය. මේ ඔහුගේ චිත්‍ර හැකියාවේ එක් ජයග්‍රහණයක් පමණි. ප්‍රාදේශීය, පළාත් සහ ආයතන මට්ටමේ තරග රැසකින් හෙතෙම ජයග්‍රහණ හිමි කර ගැනීමට සමත්ව සිටියි.

ගාල්ල උපනන්ද ජාතික පාසලේ ශිෂ්‍ය නායක, විවාද කණ්ඩායමේ නායක, නිවේදකයකු පමණක් නොව පාසල් වේදිකාවට ද නැතිවම බැරි දක්ෂතා රැසකින් හෙබි සිසුවෙකි.

සිය නව නිර්මාණකරණයට මෙන්ම අනෙක් දක්ෂතා ද එළිදැක්වීමට සිය පියා වන පීඩබ්ලිව් නන්දසිරි මහතාත්, මව වන නදීකා සඳමාලි මහත්මියත් සහ බාල සහෝදරියන් තිදෙනාත් උපනන්ද ජාතික පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය මෙන්ම නව නිපැයුම් භාර ගුරුතුමා වන පද්මසිරි ගුරුතුමා ද දක්වන සහාය තරුෂ ගෞරවයෙන් සිහිපත් කරයි. අනාගතයේ වෛද්‍යවරයකු වීමට අදිටන් කර ගෙන සිටින තරුණ තම සියලු දක්ෂතා තව ඉදිරියටත් එළිදැක්වීමට අපේක්ෂා කර ගෙන සිටියි.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

Recent Posts

ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…

24 hours ago

සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.

ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…

1 day ago

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

2 weeks ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

2 weeks ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

3 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

1 month ago