ආණ්ඩුවේ දේශපාලකයන්, රජයේ නිලධාරීන් සහ සමාගම්වල නියෝජිතයන් මාධ්‍ය ඉදිරිපිටට පැමිණ තම නිරවද්‍යතාව උදෙසා කුමනාකාරයේ නිර්දෝෂී වීමේ කතා ගෙතුවද ජනතාවට ඒවා ගැන විශ්වාසයක් තිබෙනවා යන්න ගැටලුවක්. ඇතැමුන්ට මතුපිටින් විශ්වාසයක් ඇති වුණත්, සැබැවින් ම තමන් ආරක්ෂිත ද යන්න ගැන ඔවුන්ගේ සිත නිරවුල් ද?. කාගෙත් සිතේ ඇත්තේ කුකුසක්. “නූතන ගෘහස්ත බෝම්බයේ” අවදානම සමග නිරන්තරව පොර බදන්නේ විශේෂයෙන් ම ගෘහණියයි. මේ අවදානමට තවදුරටත් සිය මව නිරාවරණය කිරීමට අකමැති 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්, තමන්ගේ නිවසේදීම පොල් කටු උඳුනක් නිර්මානය කර මව වෙනුවෙන් සහනයක් ලබා දී තිබෙනවා.
රටේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටෙමින් ද, පවුලේ ආර්ථිකය ශක්තිය ක්‍රමයෙන් හීන වෙමින් ද පවතින කාලයක දරුවා කර ඇති නිර්මාණයෙන් නිවසේ මුදල් ඉතිරියක් සිදු වී තිබෙනවා. අඟහිඟකම් මැද ගෙවෙන ජීවන ගමනේදී තම පියාගෙන් මුදල් නිස්සාර දේ සඳහා ඉල්ලා සිටින දරුවන් ද සිටින යුගයක, හෙරොයින් පැකට්ටුවට ද “කුඩුවලට” ඇබ්බැහි වූවාක් මෙන් වීඩියෝ ක්‍රීඩාවලටද (Video Gaming ) ඇබ්බැහි වූ දරුවන් අතර මේ දරුවා කර ඇති ක්‍රියාව වෙනස් මගක යාමක්.
ගෝනාපිනුවල අලුත්වල වෙසෙන මෙම දරුවාගේ නම ඉඳුවර මානවඩු. බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහු දහතුන් හැවිරිදියි. පොල්කටු අඟුරු පමණක් භාවිතා කරමින් ඉතා ඉක්මනින් ඉන් කෑම පිසීමට එය කාර්යක්ෂම බව ඔහු පවසනවා. මේ වන විට තම මව ආහාර පිසීන්නේ සඳහා ගෑස් වලින් ඉවත්ව මෙම පොල්කටු අඟුරු උදුන භාවිතා කරමින් ඉතාම ආරක්ෂාදායක ලෙස සහ අඩු වියදමකින් බව ඔහු පවසන්නේ ඉතාමත් සතුටින්. ගෑස් උදුවක තිබෙන්නා වූ ආකාරයෙන් ගිනිදැල් ඉහළට ගමන් කිරීමට 12V බැටරියකින් පණගැන්වෙන කුඩා පංකාවක් යොදාගෙන තිබෙනවා. ඒ වගේම මෙහි රස්නය පිටතට නොඑන සේ නිර්මාණය කර තිබෙන අතර ලිපෙහි පිටත දැඩි රස්නයක් නොදැනේ. දිනක කෑම පිසීම සඳහා පොල් කටු 5ක පමණ අඟුරු ප්‍රමාණවත් බවත් පවසයි. මෙය තවදුරටත් වැඩිදියුණු කිරීමට තමන්ට හැකියාව තිබෙන බවත් තම මව අද ආරක්ෂා සහිතව කෑම පිසින ආකාරයෙන් ම රටේ අනිත් අම්මාවරුන් ආරක්ෂා කර ගැනීමට මෙය ප්‍රයෝජනයට ගැනීමට හැකි බවත් ඔහු පවසනවා.
ලොකු ම ප්‍රශ්නෙ ගෑස් පුපුරණ එක. බය හිතුණා අම්මා ගැන..
මෙවන් දරුවන් තවත් දහස් දසදහස් ගණනින් ඇති. මේ ඉන් එක් උදාහරණයක් පමණයි. සිය මව ගෑස් අනතුරෙන් බේරා ගැනීම ඔහුගේ මුඛ්‍ය අරමුණ වුණා. මෙය නවත ම නිර්මාණයක් නොවිය හැකියි. වෙළඳ සැලේත් මිලදී ගැනීමට මේ හා සමාන උඳුන් තිබෙනවා. යූ ටියුබ් ඔස්සේ මෙයට සමාන ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට ඕනෑතරම් ආදර්ශන වීඩියෝ වැඩසටහන් ද තිබෙනවා. නමුත් වඩාත් වැදගත් කාරණය වන්නේ එය නිර්මානය කිරීමට පෙළඹීමයි. උවමනාවයි.





