Wednesday, April 15, 2026
Homeදේශීය"ඇන්ටිබයොටික්" අනිසි භාවිතය මත, අති බිහිසුණු වසංගතයක පෙර නිමිත්තක්!

“ඇන්ටිබයොටික්” අනිසි භාවිතය මත, අති බිහිසුණු වසංගතයක පෙර නිමිත්තක්!

ප්‍රතිජීවක ඖෂධ හෙවත් ඇන්ටිබයොටික් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. Life Traveler මේ පිළිබඳව අවධානය යොමු කළා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පෙන්වා දෙන්නේ ඒවා ආශ්‍රිත තත්ත්වයන් ද කාලීනව විවිධ විපර්යාසවලට භාජනය විය හැකි බවයි. ලෝක ඉතිහාසයේ අවුරුදු සීයකට එපිට කාලයක් තුළ මහා ව්‍යසනයන් ඇති කළ ඇතැම් බැක්ටීරියාවන් අද බොහෝ දුරට පාලනය වී පවතින්නේ අපි හැමෝම හොඳින් අඳුනන ප්‍රතිජීවක ඖෂධ, එහෙම නැත්නම් ඇන්ටිබයොටික් හේතුවෙන් බව සිහිපත් කරන එම කාර්යංශය, වර්තමානය වන විට මේ ඇතැම් බැක්ටීරියාවන් ඒවා පාලනය කිරිමට යොදා ගැනුන ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් ගොඩනඟා ගනිමින් පවතින බව පෙනී යන බව අනාවරණ කරනවා. මෙය අති භයංකර වසංගතයක පෙර නිමිත්තක් විය හැකි බව සෞඛ්‍ය බලධාරීන්ගේ මතයයි. මේ උවදුරට පිළියම් සෙවීමට වෛද්‍ය විශේෂඥයින් තර්කන බොහෝමයක් ගොඩ නගමින් කරුණු සොයමින් පවතිනවා. ඒ අනුව මේ තරම් ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී (ඔරොත්තු දෙන ) රෝගකාරක අප අතරට එන්නට හේතුව කුමක් දැයි අප මුලින්ම සොයා බැලීම වැදගත්. අපි භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධ හමුවේ රෝගකාරක විෂබීජ එක්වරම පරාජය භාර ගන්නේ නැහැ. ඔවුන් නැවත ප්‍රතිජීවක ඖෂධ සමඟ සටන් කරනවා කරනවා. ප්‍රතිජීවක මගින් අඩපණ කෙරෙන ජීව ක්‍රියාවලි සඳහා වෙනත් විකල්ප ක්‍රම භාවිතය, ප්‍රතිජීවක ඖෂධය හානි කිරීමට පෙර බිඳ හෙලීම, සෛල තුළට ඇතුළු වීමට නොහැකි පරිදි බාධක නිර්මාණය කිරීම, ප්‍රතිජීවක ඉලක්කය ලබාගත නොහැකි පරිදි එය වෙනස් කිරීම සහ හැකි ඉක්මනින් ආක්‍රමණික සෛලයෙන් පිටතට පොම්ප කිරීම රෝගකාරක ජීවීන් විසින් සුලබවම භාවිතා කරන සටන් උපක්‍රම වනවා. එවැනි හැකියාවන් ලබා ගැනීමෙන් පසු ඒවා ඉදිරි පරම්පරාවට උරුමකර දීමටත්, ජානමය ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමෙන් මේ භයානක හැකියාවන් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමටත් මෙම ක්ෂුද්‍ර ජීවීන් ට හැකියාව තිබෙනවා. කොයිතරම් කාර්යක්ෂම සහ අලුත් ප්‍රතිජීවක ඖෂධ සොයාගත්තත්, ඒවා වගකීමකින් යුතුව භාවිතා නොවන පරිසරයක දී ඉක්මනින්ම ඊට ඔරොත්තුදීමේ හැකියාව ලබාගන්නට රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන්ට හැකියාව ලැබෙනවා.

READ:   ඔමික්‍රොන් මාරාන්තිකද? WHO / Newsweek ඇසුරින්

සෞඛ්‍ය බලධාරීන් මෙහිදී වැදගත් කරුණක් අවධාරණය කරනවා. එනම් බොහෝවිට වෛරස ආසාදන නිසා ඇතිවන, සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්වයන්ට පවා “ඇන්ටිබයොටික් කරල්/ පෙති” සොයා යන සහ ඒවා අනවශ්‍ය පරිදි නිර්දේශ කරන සියලු දෙනා ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධීතාව සඳහා කෙලින්ම වග කිව යුතු බවයි. මීට අමතරව සත්ව පාලනයේ දී සතුන් ඇති කරන්නන් විසින් නිර්දේශිත මාත්‍රාවන් ඉක්මවමින් සහ හිතුමතයේ සිදුකරන ප්‍රතිජීවක ඖෂධ සතුන්ට ලබාදීම නිසා ද මෙම තත්වය තවත් තීව්‍ර වෙමින් ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.

ලෝකයම වසර දෙකකට ආසන්න කාලයක් අඩපණ කළ කොවිඩ්-19 වසංගත රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාර ලෙස භාවිතා කළහැකි ඖෂධ ගණනාවක් ගැන ලෝකය මේ වනවිට තබාගෙන සිටින්නේ සුබ බලාපොරොත්තුවක්. ඒ අතරින් සමහරක් දැනටම භාවිතයට අවශ්‍ය අනුමැතිය ලැබී තිබීම සහ ඉතා ඉහළ මටමකින් අසාධ්‍යවීම් සහ මරණ වළක්වන බව විද්‍යාත්මකව තහවුරු වී තිබීම සතුටුදායක තත්වයක්. කෙසේ වෙතත් අනාගතයේ අප විසින් භාවිතයට ගනු ලැබීමට ඉඩ ඇති එවැනි ඔසු මෙන්ම දැනට භාවිතයේ ඇති ප්‍රතිජීවක ඖෂධ සියල්ලේම ඉරණම රැඳී පවතින්නේ ඒවා කොතෙක් වගකීම් සහගතව භාවිතා වන්නේද යන්න මත බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.

වෛද්‍ය නිර්දේශයකින් පමණක්, අත්‍යාවශ්‍ය අවස්ථාවල ප්‍රතිජීවක ඔසු භාවිතය, නිර්දේශිත මාත්‍රාව නිවැරදිව සම්පූර්ණ කාලයම භාවිතා කිරීම, සතුන් සඳහා භාවිතයේ දී වගකීම් සහගත වීම, පරිසරයට එකතු නොවන පරිදි නිසි ආකාරයෙන් බැහැරකිරීම වැනි පියවර සැමවිටම අනුගමන කිරීම, තනි තනිවත් සමාජයක් ලෙසත් අපේ දැඩි අවධානයට යොමු විය යුතු වගකීමක්.

එසේ නොවුවහොත්, අප මේ දුටු වෛරස වසංගතයට වඩා ඉතා භයානක සහ මාරාන්තික බෝවන රෝග සහිත ලෝකයක් අපේ අනාගත පරපුරට උරුම වීමත්, ප්‍රතිරෝධී වූ විෂබීජ හමුවේ බෙල හීන වූ ප්‍රතිජීවක ඖෂධ සමඟ ඔවුන් අසරණ වීමත් වළක්වන්නට නොහැකිවනු ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අවධාරණය කරනවා

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්