Sunday, April 19, 2026
Homeදේශීයව්‍යාපාර, සමාජය, මාධ්‍ය අයිති කරගෙන ඉන්නේ පාදඩ අශිෂ්ඨ පන්තියක් - පා.ම. පඨලී...

ව්‍යාපාර, සමාජය, මාධ්‍ය අයිති කරගෙන ඉන්නේ පාදඩ අශිෂ්ඨ පන්තියක් – පා.ම. පඨලී චම්පික රණවක

පාදඩ, අශිෂ්ඨ සමාජ පන්තිය විසින් වර්තමානයේ ව්‍යාපාරික ලෝකයත්, සමාජ ලෝකයත්, මාධ්‍ය ලෝකයත් අත්පත් කරගනු ලැබ තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
වර්තමානයේ රටෙහි පැන නැගී තිබෙන අර්බුද හා එම අර්බුදයන් පැන නැගීමට හේතු වූ කරුණු කාරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටි අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“අපේ ඉදිරි පරම්පරාවලට ලේ නොවැකුණු සමාජ වෙනසක් ඇති කර ගැනීමට අධිෂ්ඨානයක් අප විසින් කළ යුතුයි. රට පාලනය කරනා හා කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනා පවුල් පරම්පරාවලට ඒ සඳහා හැකියාවක් නොමැති බව ඔවුන් ඉතිහාසයෙන් පෙන්වා දී තිබෙනවා. ඒ නිසා අද අපට අවශ්‍ය වන්නේ 1956 සහ 1977 වර්ෂවලදී සිදුවුණා වැනි යුග පෙරළියක්.
නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය අද මේ රටේ අපට තියෙන ප්‍රධානම සවිමත් සමාජ දර්ශක දෙකක්. මේ සමාජ දර්ශක දෙකෙන් මේ රටේ ආර්ථිකයට, මේ රටේ ඉදිරි ගමනට කොච්චර දායකත්වයක් ඇති වුණාද කියන එක ප්‍රශ්නයක් වුණත් අපි ආඩම්බර විය හැකි පළමු ලෝකයේ තත්ත්වයක් මේ දර්ශක දෙක ඔස්සේ අපට ලැබිලා තියෙනවා. අපේ ආයු කාලය, අපේ සාක්ෂරතාවය මේ මඟින් නිරූපනය වෙනවා.
නිදහස් අධ්‍යාපන පනත නිසා බ්‍රිතාන්‍ය යුගයෙන් පස්සෙ අපේ සිංහල දෙමළ භාෂා දෙක භාවිතා කරල අපට මේ අධ්‍යාපනයේ ප්‍රතිඵල ලබාගැනීමට අපේ දරුවන් ගමන් කිරීමක් සිද්ධ වුණා. ඒ නිසා එතෙක් කලක් ගොවියන්ගේ දරුවන්, වැඩකාරයින්ගේ දරුවන්, කම්මල්කරුවන්ගේ දරුවන්, රෙදි හෝදන්නන්ගේ දරුවන් ආදී වශයෙන් මේ රටේ කොන්වෙලා හිටපු ජන කණ්ඩායමක දරුවන් ස්වභාෂාවෙන්, සිංහලෙන් දෙමළෙන් උගත්කම අත්පත් කරගෙන මේ රටේ පමණක් නොවෙයි ලෝකයේ නොයෙක් ස්ථානවලට ගමන් කරන ඒ අධ්‍යාපන විප්ලවය ඉදිරියටම ගමන් කළා. ඒ වගේම එම දරුවන් කාලයාගේ ඇවෑමෙන් ඉංග්‍රීසි භාෂාවේත් නවීන තාක්ෂණයේත්, පරිගණක අධ්‍යාපනයේත්, කලාව, ක්‍රීඩාව ආදී අනෙකුත් ක්ෂේත්‍රවලත් තමන්ගේ සමත්කම මතින්, හැකියාව හා නිපුණතාවය මතින් ශක්තිමත් තත්ත්වයන්ට පත්වෙච්ච බව අප අමතක කළ යුතු නෑ.
හැම විටම අපිට ඇහෙනවා අවුරුදු 70ක් මේ රට පාලනය කරපු දේශපාලකයින් අද මේ රටේ අර්බුදයට වගකිව යුතු බව. අපේ සමාජ සංගුණක මගින්, අධ්‍යාපනයෙන් සෞඛ්‍යයෙන් හොඳ තැනක හිටියත් ආර්ථික අතින් හොඳ තැනක නැති බව තමයි හැමෝම කියන්නෙ. හැම දෙනාම ජනප්‍රිය කතා කිහිපයක් කියනවා. දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සෙ අපි ආර්ථික අතින් දෙවනි වෙලා හිටියෙ ජපානයට පමණයි කියල ජනප්‍රිය මතයක් පැතිරිලා තියෙනවා. ඒ වගේම අපේ තාත්තලගෙ කාලෙත් මේ රට තුන්වන ලෝකයේ රටක්, දියුණු වෙන රටක්. අපේ කාලයේත් මේ රට තුන්වන ලෝකයේ රටක්, දියුණු වෙන රටක්. අපේ දරුවන්ගෙ කාලෙත් මේ රට තුන්වන ලෝකයේ රටක් දියුණු වෙන රටක් ආදී වශයෙන් පවතීය කියන අදහස ජනප්‍රිය දේශපාලනයේ ඇසෙමින් තියෙනවා.” යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

READ:   වෑන් රථයක් පොලිස් නිලධාරියෙකු යට කර පළා යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්