දේශීය

තිස් වසරකට පෙර ජාතියෙන් සමුගත් අභීත සෙන්පති

මව්බිම වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ අභීත සෙන්පති මේජර් ජනරාල් ලකී විජේරත්න ජීවිතයෙන් සමුගෙන අවුරුදු 30ක් සපිරීම නිමිත්තෙනි.  

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමා මට ප්‍රථමයෙන් සමීප වූයේ වර්ෂ 1975 දීය. එවකට ශ්‍රී ලංකා පාබල හමුදාවේ 1 වෙනි බලඇණියේ විධායක නිලධාරී වශයෙන් නිරත වූ අවධියේය. දෛනිකව නියමිත රාජකාරි සියල්ල අවසන් කිරීම විනා මෙය හෙට කරමු කියා පුරුද්දක් නැති එතරම් ක්‍රියාශීලී මෙන්ම නිර්භීත නිලධාරියෙකි. එතුමා ඕනෑම කාර්යයක් ඉතා අභිමානවත් අන්දමින් නායකත්වය පෙරදැරි කර හමුදාවේ ගෞරවය රැකගෙන කටයුතු කළ ක්‍රියාශීලී ගෞරවණීය නායකයෙකි.   

1983 වර්ෂයේ දී යාපනය – තින්නවේලි ප්‍රදේශයේ මියගිය හමුදා සාමාජිකයන් 13 දෙනාගේ මළ සිරුරු යාපනය ප්‍රදේශයේ භූමදානය කිරීමට එවකට පැවති රජය ඉතාමත් සූක්ෂම ලෙස අර ඇඳීමත් සමග දිවයින පුරා කලහකාරී ගැටුම්වලට මුහුණපාන්නට සිදුවූ අවස්ථා එමටය. සිද්ධිය සිදුවී පසු දින එවකට ‘ඩී’ කණ්ඩායමේ නිලධාරී අණදෙන වශයෙන් සිටි මෙතුමා කණ්ඩායමේ සියලු දෙනා අමතා ‘මගේ රාජකාරි දුරකථනයෙන් සහ දුරකථන පහසුකම් ඇති අය තමා කරදරයකින් තොරව සිටින බව කඩිනමින් දෙමාපියන්ට දැනුම් දෙන්න’ යයි පවසා කාර්යාලයෙන් බැහැරව ගියේය.   

මෙවැනි ගුණගරුක නිලධාරීන් සිටිනුයේ ඉතාම සීමිත ප්‍රමාණයක් බව මා හට වැටහිණ. 

පසුකාලීනව මෙතුමා ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවලින් වෘත්තියට ආවේණික පාඨමාලා හදාරා උසස් මූලස්ථානයන්හි මාණ්ඩලික තනතුරු හොබවමින් සිටි අතර 1988 වසරේ දී අණදෙන නිලධාරී 1 වෙනි බල ඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත ඇතුළත් කෙරිණ. එකල මාතර දිස්ත්‍රික්කයේ ඇතිවූ කඩාකප්පල්කාරී ක්‍රියාදාමය මැඩ පැවැත්වීම සඳහා එම ප්‍රදේශය භාර සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් පත්වී එම ගැටලු සමථයකට පත් කළ මෙතුමා ශ්‍රීලපාහ ඒකකයන්ට දක්වන භක්තිය හා ආදරය නිසා ප්‍රදේශ පුරාම ශ්‍රීලපහ ඒකකයන් ස්ථානගත කිරීමට අවස්ථාව සලස්වන ලදී.   

මාතර දිස්ත්‍රික්කය පුරා විහිදුනු ජවිපෙ සාමාජිකයන් සමග ඉතාමත් සුහදවී හොඳින් තරුණ තරුණියන්ගේ ප්‍රශ්න හා සාකච්ඡා කර ඔවුන්ගේ අවධානය මෙතුමා කෙරෙහි ලබාගෙන රාත්‍රියේ දී සියලු වැරදිකරුවන් ඉතාමත් රහසිගතව අත්අඩංගුවට ගැනීම මෙතුමාගේ දක්ෂතාවය විදහා දක්වන ලක්ෂණයකි.   
නැවතත් මෙතුමා ඌව ප්‍රදේශයේ වතුකරයේ හටගත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාදාමයන් මැඩලීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් රාජකාරි භාරගත් ආරංචිය ජවිපෙට අයත් පුවත්පතක පලවූයේ මෙලෙසිනි.   


‘දේශප්‍රේමී නිලධාරියා උතුරට යවයි’ යනුවෙනි.   

වරදට දඬුවම් පැමිණවීමත් එම අය විශ්‍රාම යනතෙක් පසුපස එලවා වෛර කරන නිලධාරී ගණයට අයත් නොවන මෙතුමා වැරදි කළ අයට පසුකාලීනව උසස්වීම් පවා ලබා ගැනීමට නිර්දේශ කිරීමත් මෙතුමා තුළ පැවති උතුම් ගුණාංගයකි.   

ත්‍රි’මලය දිස්ත්‍රික්කයේම 22 බල සේනාධිපති හා එම ප්‍රදේශයේ සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් සිටි අවධියේ 1990 දෙසැම්බර් 18 දින ගෝමරන්කඩවල මොරවැව ප්‍රදේශයේ දී කුරිරු ත්‍රස්තවාදීන් විසින් පණ ගන්වන ලද බිම් බෝම්බයකට හසුවීමෙන් මෙතුමා සහ පොලිස් අධිකාරිවරයෙක් සමග සෙබළු 05 දෙනෙක් අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී සදහටම දෙනෙත් පියාගත්හ.   

එම පුවත සැලවීමත් සමග මම ඉතා කම්පනයට පත් වුණෙමි. මෙවැනි නිර්භීත නිලධාරියකු එබඳු වකවානුව තුළ මිය​යාම සකල ශ්‍රී ලංකාවටම විශාල පාඩුවක් විය. පරාර්ථකාමී අදහස් දරන මෙතුමා වැනි නිලධාරීන් මතු භවයේදීත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.   


විශ්‍රාමික පාබල හමුදා නිලධාරියෙක්.   

උපුටා ගැනීම ලංකාදීප

Recent Posts

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

5 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

1 day ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

3 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

4 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

4 days ago