Tuesday, April 21, 2026
Homeදේශීය"අනේ අදවත් උගන්නන්න එකෙක්වත් ඉස්කෝලේ එන්න දෙවියනේ "

“අනේ අදවත් උගන්නන්න එකෙක්වත් ඉස්කෝලේ එන්න දෙවියනේ “

Voice Teen වගේ ජාත්‍යන්තර මට්ටමේ තරඟවල අවසන් තරඟකරුවන්ගෙ ජය පරාජය ගැන එකිනෙකා පිල් බෙදිලා තරඟ කරගන්න රටක අපි වගේ පුංචි ඉස්කෝලවල ගුරුවරුන්ගේ එකම හීනය ” අනේ අදවත් උගන්නන්න එකෙක්වත් ඉස්කෝලේ එන්න දෙවියනේ ” කියන ප්‍රාර්ථනය විතරක් වෙන්න පුළුවන්.

ලෝකෙම අඩාල කරපු මාරාන්තික වෛරසයක් නිසා පුංචි එවුන්ගෙ ආරක්ෂාවට ඉස්කෝලේ දීර්ඝ කාලයක් වහලා දැම්මහම ලොකුම අවාසි සහගත තත්ත්වයන් ඇති වෙන්නෙත් මම කළින් සඳහන් කළ අඩුපාඩුකම් ගොඩක් මැද්දෙ පණ කෙන්ද රැක ගන්න ඉස්කෝලවලට. ගුරුවරුන්ට.විදුහල්පතිවරුන්ට. දරුවන්ට. වක්‍රව රජයට . ඒ කියන්නෙ රජයට බදු ගෙවන මුලු මහත් ලාංකිකයන්ටම.

අද නිල වශයෙන් ඉස්කෝල පටන් ගත්තහම අපි හිතුවෙ ළමයි උද්‍යෝගෙන් ඉස්කෝලෙට එයි කියලා. අපේ වගේ ඉස්කෝලවල ලොකුවට Online ඉගැන්නිලි සිදු නොවුණ නිසා අපි වැඩියෙන් ළමයින්ගෙ පැමිණීම බලාපොරොත්තු වුණා. ගුරුවරුන්ගෙ පැමිණීම 6 ට 6ක් වෙනකොට ගෝලයන්ගෙ පැමිණීම 19 ට 1 යි.

ඒ මදිවට අදම කරලා අදම බාර දෙන්න පේපර් මිටියකුත් පහේ උන්දැලට කලාපෙන් එවලා.

අපිටත් තිබුණා ළමයි නැ පේපර් කළෙ නැ කියලා වගකීමෙන් කර අරින්න. ඒත් දරුවන්ගෙ අනාගත ඛේදවාචකය මතක් වෙනකොට එහෙම කරන්න අපිට හිතක් නැහැ. අපි අද පස්සට තියන එක අඩියක් නිසා ඒ ළමයිනුත් වත්තෙ වැඩට යයි කියන හැඟීම අපේ ඉස්කෝලෙ හැම ගුරුවරයෙක්ගෙම හිතට වධ දෙන සිතුවිල්ලක් කියලා මම විශ්වාස කරනවා.

ඒ නිසා මමයි , අලුත් මිසුයි , අපේ තව ටීච කෙනෙකුයි සූදානම් සරීරෙන් උදේම සුපුරුදු රාජකාරියට වත්තෙ ලැයිමට රිංගුවා. ළමයි එකතු කරන් දත් මද්දන් මූණ හෝදවන් ඉස්කෝලෙට ගේන්න.මතක තියාගන්න අපි මේවා කළාට අපිට අමතර වැටුපක්වත් නොකලා කියලා වැටුපෙන් කප්පාදුවක්වත් වෙන්නෙ නැහැ.

ඒ කරලා ගෙවල් හොයන් යද්දි කළින් හිටි තැන්වල ඒ ළමයි නැහැ. ලැයිම් මාරු වෙලා. හොයාගෙන කරගෙන හෝදලා ගියපු පාරවල් වල හයි හීල්සුත් දාගෙන අපි හරියට පොලීසියෙන් පයිනවා වගේ කොහොම හරි කෑ කෝ ගහලා ළමයි දෙන්නත් එක්කරගෙන ඉස්කෝලෙට ඇවිල්ලා පේපර් එක ලියෙව්වා. හැබැයි මේ මාස ගානේ කිසිම දෙයක් නොකළ නිසා ( ඉස්කෝලෙන් print කරලා මැඩම් යැව්ව කොළවත් කරලා නැහැ. අඩුම ඒ කොළ හොයාගන්නත් නැහැ ) පේපර් එකේ ළකුණු තත්ත්වය ගොඩක්ම පහළ මට්ටමේ කියල විතරක් දන්නවා. මේවා ගැන දැන හෝ නොදැන මොනාද තමුන්ලා කළේ කියලා ඉහළින් අහනකොට ඒවට උත්තර දෙන්නත් අපි බැඳිලා ඉන්නවා ඔය ජරමර අස්සෙ.

READ:   කාර් ප්‍රශ්නයකට අටමස්ථාන නාහිමිට අධිකරණයේ පෙනී සිටින්න කියයි

මේ ළමයි ගෙවල් වලට ගියහම පොතක පතක වැඩක් කරන්නෙ නැහැ. කරන්න පරිසරයක් නැහැ. දෙමව්පියන්ට දැනුමක් නැහැ. ඉස්කෝලෙන් කරන එකක් විතරයි. ඒකත් අපේ කටේ බලේට විතරක් සීමා වෙලා.

උගන්න එක ලේසි වැඩක්. ඒත් මේ හැම පරිසරයම සමාන කරගෙන උන්ගෙන් එකෙක් වෙලා උන් එක්ක ඉගෙන ගන්න එක අමාරු වැඩක්. අපි ඒ අමාරු වැඩේ සැහැල්ලුවෙන් කරනවා කියලා වෙලාවකට දැනෙනවා. ජෝන්ට ලතින් උගන්න ලතින් විතරක් දැනන් හිටියට මදි. ජෝන්වත් දැනන් ඉන්න ඕන. මේ දරුවන්ට උගන්නන්න විශය දැනුම විතරක් තිබුණට මදි.මේ දරුවන්ගෙ ගැටලු දැනන් ඉන්න ඕන. අපි ගැටලුව දන්නවා.අවශ්‍ය පුංචි උත්තේජනයක්.ඒ උත්තේජනය වෙනුවෙන් අපි හෙටත් ඒ කඳු පල්ලන් හීල්ස් දාගෙනම තරණය කරන්න සූදානම්. ඒ සැනසීම ඉගැන්වීමෙන් විතරක් නොලැබෙන නිසා.

මේ හැම දෙයක්ම පිටිපස්සෙ ඉන්න අපේ විදුහල්පතිතුමිය ව ආදරයෙන් මතක් කරන්නම ඕන.මොකද එතුමියගෙ එක වචනෙකට තිබුණා අපේ ගමන නවත්වන්න. ඒත් සමජාතියෙ කුරුල්ලො එක වගේ අතුවල වහනවා වගේ අපිට ඉන්නෙ අපිටම ගැළපෙන විදුහල්පතිතුමියක්. මේ සටහන් මෙහම ලියන්න වෙන්නෙත් කවදා හරි කොතන හරි තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියන අරමුණින්.

අරගලය තියෙන්නෙ මෙතන මිත්‍රවරුණි.

ගයාරා වාහලතන්ත්‍රි

Voice Teen
ගයාරා වාහලතන්ත්‍රි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්