චන්දන ජයවීර
හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති රුපියල් මිලියන 600කට අධික අයථා වත්කම් නඩුව මඟින් පසුගිය කාලය තුළදී දේශපාලනඥයන් සිය බලය භාවිත කර උපයා ගෙන ඇති වත්කම් රැසක් පිළිබඳ තොරතුරු හෙළිදරවු විය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ ලබන අගෝස්තු මස 20දා විභාගයට ගැනීමට නියමිතය.
එහිදී බැංකු කිහිපයක කළමනාකරුවන් විසින් ඔහු සතු ගිණුම් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට නියමිත බව වාර්තාවේ.
මර්වින් සිල්වා කම්කරු සහ මහජන සම්බන්ධතා ඇමැතිවරයා ලෙස කටයුතු කළ 2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා වූ වසර දෙකක් වැනි ඉතා කෙටි කාලසීමාවක් තුළ සිය නීත්‍යනුකූල ආදායම් මාර්ගවලින් පැහැදිලි කළ නොහැකි අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.
ඔහු පෑන් ඒෂියා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ ස්ථාවර තැන්පතු 10ක පමණක් රුපියල් ලක්ෂ 1823කට වැඩි මුදලක් තැන්පත් කර ඇත. මෙහි අන්තර්ගත එක් තැන්පතුවක් පමණක් රුපියල් කෝටි 6ක වටිනාකමකින් යුක්ත වන අතර, රුපියල් ලක්ෂ 366ක්, ලක්ෂ 365ක් සහ ලක්ෂ 225ක් ඉක්මවූ තවත් විශාල තැන්පතු 3ක් ද එහි තිබී ඇත.
මීට අමතරව ඔහු එම බැංකුවේ රුපියල් ලක්ෂ 33 ඉක්මවූ තවත් ස්ථාවර තැන්පතු ගිණුම් 5ක් පවත්වාගෙන ගොස් ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය.
ඔහු සිය බිරිඳ වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ඒ. මේරි ලුසීඩා සිල්වා මහත්මිය සහ පුත් මාලක මනෝජිත් සිල්වා සමඟ එක්ව බද්ධ ගිණුම් රැසක් පවත්වාගෙන ගොස් තිබේ.
පෑන් ඒෂියා බැංකුවේ බිරිඳ සමඟ පැවති බද්ධ ගිණුමක රුපියල් 2,140,199.36ක ශේෂයක් ද, පුතා සමඟ සම්පත් බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමක රුපියල් 2,687,852.25ක ශේෂයක් ද 2010 වසර වන විට පැවතී ඇත.
මීට අමතරව, මාලක සිල්වාගේ නමින් පමණක් වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ රුපියල් මිලියන 15 සහ 35 බැගින් වූ ගිණුම් දෙකක් තිබී ඇති අතර, දියණිය සන්දීපනී මලිකා සිල්වා සහ බෑනනුවන් වන එම්.සී. අගුළුගමුව නමින් රුපියල් මිලියන 15 බැගින් වූ තැන්පතු ද එම ආයතනයේම පවත්වාගෙන ගොස් ඇත.
මර්වින් සිල්වා මහතාගේ නමින් ද එම ආයතනයේ රුපියල් මිලියන 14ක තැන්පතු තිබී තිබේ.
බැංකු තුනක පවත්වාගෙන ගිය ජංගම ගිණුම්වල 2012 වසර වන විට රුපියල් ලක්ෂ 47කට අධික මුදලක් ඉතිරිව තිබූ අතර, හැටන් නැෂනල් බැංකුවේ රුපියල් මිලියන 32.5ක සහ DFCC වර්ධන බැංකුවේ රුපියල් මිලියන 6.8ක තැන්පතු ද ඔහු සතු විය.
විත්තිකරු මිල දී ගෙන ඇති නිශ්චල දේපළ රැසක් සම්බන්ධයෙන් ද තොරතුරු රැසක් මෙම නඩුවේදී අනාවරණය විය. හිටපු ඇමැතිවරයා කොළඹ ඉහළම වටිනාකමක් ඇති ප්‍රදේශවලින් දේපළ මිල දී ගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව, කොළඹ 07, කුරුඳුවත්තේ අර්නස්ට් ද සිල්වා මාවතෙන් රුපියල් මිලියන 71.3ක ඉඩමක් ද, රාජගිරිය, නාවල පාරෙන් රුපියල් මිලියන 39.2ක ඉඩමක් ද ඔහු විසින් මිල දී ගෙන ඇත. මීට අමතරව කඩවත දලුපිටිය ප්‍රදේශයෙන් රුපියල් මිලියන 13ක් වටිනා ඉඩමක් ද මිල දී ගෙන තිබේ.
මෙම නඩුවේදී අනාවරණය වූ තවත් කාරණයක් වන්නේ ඔහු විසින් වික්ටෝරියා ව්‍යාපෘතියට අයත් කුණ්ඩසාලේ නිලගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් 1994 වසරේ සිට රුපියල් 1,600ක වැනි ඉතා සුළු බදු කුලියකට පවරා ගෙන ඇති බවය.
විත්තිකරු ඇමැතිවරයාව සිටි වසර දෙකක කාලය තුළ වාහන 7ක් මිල දී ගෙන ඇති බව විමර්ශනවලදී හෙළි විය. මේ වාහන ඉතා අසාමාන්‍ය අයුරින් කෙටි කාලයක් තුළ මිල දී ගෙන ඇත.
ඔහු 2010 වසරේ අප්‍රේල් 10දා Porsche වර්ගයේ මෝටර් රථයක් මිලදී ගෙන ඇති අතර ඉන් මාස 3කට පසු ජූලි මාසයේදී සිය පුත් මාලක සිල්වා හට රුපියල් මිලියන 28.8ක් වටිනා Range Rover Sport Petrol V8 රථයක් මිල දී ගෙන දී තිබේ. ඉන් මාස තුනකට පසු තමාගේ භාවිතය සඳහා රුපියල් මිලියන 32.3ක් වටිනා Mercedes Benz රථයක් මිල දී ගෙන තිබේ. මෙම රථවලට අමතරව රුපියල් ලක්ෂ 20ක් වටිනාකමට Land Rover රථයක්, රුපියල් මිලියන 9ක Hyundai ජීප් රථයක් සහ රුපියල් ලක්ෂ 58ක් වටිනා ලොරි රථ දෙකක් ද වසර දෙකක් තුළදී මිල දී ගෙන තිබේ.
ඔහුගේ දෛනික වියදම් රටාව ද ඉතා ඉහළ මට්ටමක පැවති බව නඩුවට ඉදිරිපත් කර ඇති සාක්ෂි මඟින් පැහැදිලි වන තවත් කරුණකි. විත්තිකරු සම්පත් සහ සෙලාන් බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් භාවිත කරමින් වසර දෙකක් තුළ රුපියල් ලක්ෂ 42කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ හා සේවා මිල දී ගෙන ඇත. එසේම මූලාශ්‍ර හෙළි නොකළ රුපියල් මිලියන 34.7ක දැවැන්ත ණය මුදලක් ද ගෙවා දමා තිබේ.
මෙයට අමතරව රිතූ ආකර්ශා නම් තැනැත්තිය වෙනුවෙන් රුපියල් 240,000ක මුදලක් ලබා දී ඇති බව අධිචෝදනා පත්‍රයට අනුව කරුණු අනාවරණය වේ.
විත්තිකරු තමන් වෙනුවෙන් ජීවිත රක්ෂණ ඔප්පුවක් ලබාගෙන නොතිබුණ ද, සිය බිරිඳ සහ දරුවන් වෙනුවෙන් රක්ෂණ ඔප්පු 6ක් පවත්වාගෙන ගොස් තිබේ.
මේ සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂ 13කට ආසන්න මුදලක් වාරික ලෙස ගෙවා ඇති අතර, ඉන් රක්ෂණ ඔප්පු 4ක්ම පවත්වාගෙන ගොස් ඇත්තේ මාලක සිල්වා වෙනුවෙනි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ අමා විජයසිංහ මහත්මිය විසින් පැමිණිල්ල මෙහෙයවනු ලබයි.
වසර දෙකක් වැනි කෙටි කාලයකදී රුපියල් මිලියන 485ක් වැනි අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගත්තේ කෙසේද යන්න පිළිබඳව ඉදිරි නඩු වාරවලදී වැඩිදුර කරුණු අනාවරණය කරගැනීම පිණිස මෙම නඩුව පවරා ඇත.
චන්දන ජයවීර
උපුටා ගැනීම – දිනමිණ


