Saturday, January 31, 2026
HomeNEWඇත්තට රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහට මොකද වුණේ?

ඇත්තට රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහට මොකද වුණේ?

රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහ, ක්‍රි.ව. 1896 නොවැම්බර් 24 වැනි දා මාතර නගරාසන්නයේ සහ නිල්වලා ගඟ අසබඩ පිහිටි පික්වැල්ල නම් ගමෙහි ගබඩා වීදියේ දී උපත ලැබී ය. රූපසිංහ මාස්ටර් උපන් වර්ෂය පිළිබඳ මතභේද පවතී. බී. වික්ටර් පෙරේරාට අනුව එකී වර්ෂය 1885 ය; කේ. ලයනල් පෙරේරාට සහ සේසිරි විජේසේකරට අනුව 1895 ය. එහෙත් රූපසිංහ මාස්ටර්ට වයස 73ක් පිරීම නිමිත්තෙන් 1969 දී පුවත් පත් ලිපියක් පළ වී ඇති නිසා ඔහු උපන් වර්ෂය මෙහි දී 1896 ලෙස දක්වා ඇත. බී. වික්ටර් පෙරේරා මහතා රූපසිංහ මහතාගේ ගම සඳහන් කර ඇත්තේ ද වැරදියට ය. ඔහු පවසන්නේ රූපසිංහ මාස්ටර් මාතර දික්වැල්ලේ උපන් බවයි.

රූපසිංහ මාස්ටර්ගේ සම්පූර්ණ නම හේවා බෝවලගේ විලියම් රූපසිංහ ය. ඒ නම කෙටි කළ විට එච්. බී. ඩබ්ලියු. රූපසිංහ විය යුතු ය. එහෙත් කලා ක්ෂේත්‍රයේ ඔහුගේ නාමය ප්‍රකට වූයේ එච්. ඩබ්ලියු. රූපසිංහ කියා ය.

රූපසිංහ මාස්ටර්ගේ පියා එච්. බී. කරෝලිස් අප්පුහාමි ය. මව, නෝනාහාමි ගුණසේකර ය. රූපසිංහ මාස්ටර්ට කලාව උරුම වූයේ පිය පාර්ශ්වයෙනි. ඊට හේතුව, කරෝලිස් අප්පුහාමි පික්වැල්ලේ ප්‍රකට නාඩගම් ගුරුවරයෙක් වීම යි. බාල කාලයේ පටන් රූපසිංහ මාස්ටර්ට නිවස තුළ දී මේ නාඩගම් ගී අසන්ට ලැබුණේ ය. කුඩා රූපසිංහ ද නාඩගම් ගී ගයන්ට පටන් ගත්තේ ය.

රූපසිංහ මාස්ටර් මූලික පාසල් අධ්‍යාපනය ලැබුවේ මාතරය…

මාතර ජිනරාජ විද්‍යාලයෙනි. අනතුරු ව ඔහු මාතර සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කරන ලදි. එහෙත් වැඩිදුර අධ්‍යාපනය ලබන්ට ඔහුට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ. රූපසිංහ මාස්ටර් දොළොස් විය සපුරද්දි ඔහුගේ පියා මිය යෑම නිසාය. එතැන් පටන් පාසල් යාමට අදි මදි කළ රූපසිංහ තුළ අලුත් අදහසක් මෝදු වෙමින් තිබුණේ ය. එනම්, කොළඹ ගොස් රැකියාවක් කිරීම යි.

රූපසිංහ මාස්ටර්ලාගේ ඥාතියෙක් කොළඹ සිටියේ ය. කේ. රූපසෝම නම් වූ ඔහු කොළඹ, පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන ආයතනයක් පවත්වා ගෙන ගියේ ය. පික්වැල්ලෙන් පංචිකාවත්තට පලා ආ රූපසිංහ නැවතුණේ රූපසෝම ළඟ යි. රූපසෝම සිය මිතුරකුගේ ගරාජයක රූපසිංහට සුළු රැකියාවක් සොයා දුන්නේය.

රූපසෝම හුදු ව්‍යාපාරිකයෙක් ම නොව සංගීතලෝලියෙක් ද විය. එබැවින් ඔහුගේ නිවසෙහි ඉඳ හිට සංගීත සාද පැවැත්වුණි. ඒ සංගීත සාදවල දී ප්‍රවීණ ගායකයන් සමඟ රූපසිංහ ගැටවරයා ද හරි හරියට ගීත ගායනා කළේය. ඔහුගේ ගායන හැකියාව දුටු රූපසෝම ඔහුට සංගීතය උගන්වන්ට උත්සුක විය.

රූපසිංහගේ වැඩි කැමැත්ත තිබුණේ තබ්ලා වාදනය ඉගෙන ගන්ට ය. එබැවින් රූපසෝම විසින් විල්ෆ්‍රඩ් පෙරේරා නමැති තබ්ලා ගුරුවරයා වෙත රූපසිංහ කැඳවාගෙන යන ලදී. විල්ෆ්‍රඩ් පෙරේරාගෙන් තබ්ලා වාදනය පිළිබඳ මූලික පාඩම් ඉගෙන ගත් රූපසිංහ විල්ෆ්‍රඩ් පෙරේරාටත් ගුරු වූ ඇල්බට් පතිරාජ හෙවත් රතු ඇල්බගෙන් තබ්ලා වාදනය පිළිබඳ වැඩි දුරටත් ඉගෙන ගත්තේය.

රූපසිංහ විසි වැනි වියට පා තබද්දී මෙ රට සංගීතය රැඳී තිබුණේ නුර්ති නාටකවලය. ජනප්‍රියම නුර්ති නාට්‍ය රචකයා වූයේ නීතිඥ ජෝන් ද සිල්වා ය. ජනප්‍රියම සංගීතඥයා ය.

ඔහුගේ නාටකවලට රාග තාල සැපයූ විශ්වනාත් ලෞජි නමැති භාරතීය සංගීතඥයා ය. සිංහල ග්‍රැමෆෝන් තැටි ව්‍යාපාරය ආරම්භ වී තිබුණත් එසේ තැටියට නැගුණු ගීත වලින් කිහිපයක් හැර සෙසු සියල්ල නුර්ති ගීත විය. නුර්ති සංගීතයට ආසක්තව සිටි රූපසිංහගේ වුවමනාව වූයේ ඊට දායක වීම සඳහා භාරතයෙහි සිට වරින් වර පැමිණෙන වාද්‍ය ශිල්පීන් වෙතින් තවදුරටත් වාද්‍ය ශිල්පය ඉගෙනීම යි.

ඒ අනුව ජෝන් ද සිල්වාගේ පුත්‍ර පීටර් ද සිල්වාගේ විපුල රංග සභාව විසින් මෙ රටට ගෙන්වන්ට යෙදුණු සුල්තාන් බක්ස් නමැති අති දක්ෂ තබ්ලා වාදකයාගෙන් ද බොම්බායේ ගෙයිටි තියටර් සිට ගෙන්වා ගත් තවත් ප්‍රවීණ තබ්ලා වාදකයකු වූ චබිල්දාස් මගන්ලාල් නමැති සංගීතඥයාගෙන් ද භාරතයෙන් පැමිණි අබ්දුල් සතාර් නම් ප්‍රවීණ හාර්මෝනියම් වාදකයාගෙන් ද තබ්ලා හා සර්පිනා වාදනය ගැඹුරින් හැදෑරීමේ භාග්‍යය රූපසිංහට උදා විය. ඉන්දියාවෙන් ආර්ය සිංහල නාට්‍ය සභාවට පැමිණි නවාබ් ඛාන් ආසි සංගීතඥයා වෙතින් ද ඔහු සර්පිනා වාදනය ඉගෙන ගත්තේ ය. මෙබඳු සංගීතඥයන්ට ගෙවීමට මුදල් හදල් නොතිබුණු ඇතැම් අවස්ථාවල අතෙහි තිබුණු මුදුව පවා උකස් කළ බව කියනු ලැබේ.

රූපසිංහ, සිංහල ග්‍රන්ථ සංගීතයෙහි පුරෝගාමියා වූ ඇම්. ජී. පෙරේරාගෙන් ද ශිල්ප ශාස්ත්‍ර හදාළ බව පැරණි ලිපි ලේඛන වල සඳහන් ය. ඇතැම් තැනෙක සඳහන් වන්නේ බස් රථ හිමියකු වූ ශ්‍රීමත් ලියෝ ප්‍රනාන්දු නම් වූ දානපතියාගේ මූල්‍යාධාර ලැබ රූපසිංහ තරුණයා ඉන්දියාව බලා ගිය බව යි. එහි දී නාරායන් රාඕ ව්‍යාස් වෙතින් සංගීතය හදාළ බව යි.

මෙවක භාරතයෙන් අඛණ්ඩ ව පැමිණි භාරතීය ශාස්ත්‍රීය ගායන සහිත ග්‍රැමෆෝන් තැටි වලට සවන් දීමෙන් ද රූපසිංහ වඩ වඩාත් සංගීත ඥානය දියුණු කර ගත්තේ ය. ඔහු බෙහෙවින් සවන් දුන්නේ අබ්දුල් කරීම් ඛාන්, සොහාරා බාය්, මොහොමඩ් යන්ටය..

රූපසිංහ තරුණයා, 1917 දී ටවර් හෝල් වාදක මණ්ඩලයට බැඳුණේ ය. 1911 දී විවෘත වූ ටවර් ශාලාව ඒ වන විට සිංහල නාට්‍ය කලාවේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබිණ. එහි රග දැක්වුණු නාට්‍ය වලට හාර්මෝනියම් වාදනයෙන් සහ තබ්ලා වාදනයෙන් සහාය වූ රූපසිංහ මුල්වරට තනිවම වාදක මණ්ඩලයක් මෙහෙය වූයේ 1919 මාර්තු 29 වැනි දා ටවර් ශාලාවේ වේදිකා ගත වූ ඔතැලෝ හෙවත් වැනීසියේ යොනා නාටකයේ දීය. (මේ වනාහි නීතිඥ ජෝන් ද සිල්වා 1909 දී පරිවර්තනය කළ නාට්‍යයක පිටපත ය.) ජේ. පී. මාෂල් පෙරේරා, ඩබ්ලිව් මාටින් පෙරේරා වැනි එවක ජනප්‍රිය නළුවෝ මෙහි රඟපෑහ. නාට්‍යය ඉදිරිපත් කරන්ට යෙදුණේ ආර්ය සිංහල නාට්‍ය සභාව මගිනි. මෙය 1941 දක්වා වරින් වර වේදිකා ගත විය.

1923 ජනවාරි 06 වැනි දා ටවර් ශාලාවේ දී මුල් වරට වේදිකා ගත වූ ධනපාලගේ වික්‍රමය’ නම් වූ නාටකයට ද 1925 ජූලි 04 වැනි දා ටවර් ශාලාවේ දී මුල් වරට වේදිකා ගත වූ, පරංගි සංහාරය හෙවත් රාජසිංහ නම් වූ නාටකයට ද (මෙහි එවක ප්‍රවීණ නළුවන් වූ ඩබ්ලිව්. ඩී. ජේමිස්, ජේ. පී. මාෂල් ආදීහු රඟ පෑහ. ඉදිරිපත් කළේ ආර්ය සිංහල නාට්‍ය සභාව යි.) එල්. ඒ. ජී. පෙරේරාගේ බලගතු කාසිය’ නාටකයට ද චාල්ස් ඩයස්ගේ චන්ද්‍රා, රංජිත් සිං, චන්ද්‍රගුප්ත, ටිකිරිමලී, හත්වැනි පැය, සිංහල කොඩිය වැනි නාටක වලට සහ පී. ටී. පී. ප්‍රේම චන්ද්‍රගේ බොහෝ නාටක වලට ද සංගීත සම්පාදනය කළේ රූපසිංහ මාස්ටර් ය.

ප්‍රභූ නිවෙස් වලට හා මංගල සාද වලට ද රූපසිංහයෝ නැතුවම බැරි තැනැත්තෙක් වූහ.

හාර්මෝනියම් වාදනයෙන්, තබ්ලා වාදනයෙන්, ගායනයෙන් ශ්‍රී ලංකාවේ මුල් පෙළෙහි සංගීතඥයන් අතරට පැමිණ සිටි රූපසිංහයන්ට ජනතාව මේ වන විට ‘මාස්ටර්’ යන

READ:   චරිත රත්වත්තේ අත්අඩංගුවට

ගෞරව නාමය ප්‍රදානය කර තිබිණ.

මෙරට සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් මාස්ටර් යන නාමයෙන් හැඳින්වෙන්ට පටන් ගත්තේ මේ යුගයේ දී ය. එනම්, 1920-30 අතර කාලයේ පටන් ය. මෙසේ බිහි වූ මුල් ම ‘මාස්ටර්ලා දෙපොළ නම් සාදිරිස් මාස්ටර් සහ රූපසිංහ මාස්ටර් ය. මුස්ලිම්වරුන් විසින් මහා සංගීතඥයන් හඳුන්වන්ට යෙදුණේ උස්තාද් කියා ය. හින්දූන් ඔවුන් හැඳින්වූයේ පණ්ඩිත්’ කියාය. ඉංග්‍රීසීන්ගේ හැඳින්වීම වූයේ ‘මඑස්ට්‍රෝ’ ( maestro) යනු යි. ම එස්ට්‍රෝ ලා අපට ‘මාස්ටර්’ ලා වූහ. ඉංග්‍රීසියෙහි ‘ම එස්ට්‍රෝ’ යනු විශිෂ්ට සංගීත නිබන්ධකයා හෝ විශිෂ්ට සංගීත මෙහෙය වන්නා (eminent musical composer or conducter) 3.

ඉන්දියාවෙන් පැමිණෙන මහා සංගීතඥයන් ප්‍රොෆෙසර් නමින් හැඳින්වීමේ පුරුද්දක් ද එවක විය. ගවුස් මාස්ටර් ප්‍රොෆෙසර් ගවුස්’ වූයේ එනයිනි.

රූපසිංහ මාස්ටර්, 1930 දී ‘ පාර්ලෆෝන්” ග්‍රැමෆෝන් තැටි ලේබලය සඳහා ගීයක් ද ගායනා කළේ ය. ඒ, ‘හීන වීර්ය ජාති නැමැති ගීය යි. එය රචනා කළේ එවක ප්‍රධාන පෙළේ නුර්ති නාට්‍ය රචකයෙකු වූ බී. ඇල් බෝධිපාල යි.

1939, රූපසිංහ මාස්ටර්ට සුවිශේෂ වර්ෂයක් වුයේ ය. ඒ. කරුණු දෙකක් නිසාය. පළමු වැන්න. ඔහුගේ විවාහය සිදු වීම යි. දෙවැන්න, ඔහුගේ ජීවිත කාලයේ දී ඔහු ලද විශාලතම සංගීතකොන්ත්‍රාත්තුව වූ මාස්ටර් වොයිස් තැටි ලේබලයේ සංගීතඅධ්‍යක්ෂවරයා බවට පත්වීම යි.

රූපසිංහ මාස්ටර් විවාහ වූයේ නුවර, අස්ගිරියේ චාලට් දොඩම්වල නැමැති සිංහල බෞද්ධ යුවතිය සමඟ ය. මෙය, සිදු වූයේ වැඩිහිටියන්ගේ විවාහ යෝජනාවක් අනුව යි. රූපසිංහ මාස්ටර්, අගනුවර කාර්ය බහුල දිවියක් ගෙවූ මුත් නව යුවළ ස්ථිර පදිංචිය සඳහා තෝරා ගත්තේ මාතර, පික්වැල්ලේ, නිල්වලා ගඟ

අසබඩ පිහිටි කුඩා නිවෙසක් ය. මේ විවාහයෙන් ඔව්හු දරුවන් තිදෙනෙකු ලදහ. 1942 දී උපන් කුළුදුල් දරුවා සෙනරත් ආනන්ද රූපසිංහ ය. 1949 දී උපන් දෙවැන්නා ලාල් රූපසිංහ ය. 1951 දී උපන් පවුලේ එක ම දැරිය ලලිතා පද්මිණි රූපසිංහය.

1939 වන විට සිංහල ග්‍රැමෆෝන් තැටි ව්‍යාපාරයට තුන්තිස් වසරක් ගෙවී ගොස් තිබිණ. දොන් කරෝලිස් සමාගම, සීමාසහිත බ්‍රවුන් සමාගම, කලම්බු මියුසිකල් ස්ටෝර්ස්, ඇන්. පොරෝලිස් ප්‍රනාන්දු සහ සමාගම වැනි අගනුවර ප්‍රධාන පෙළේ වෙළඳ සමාගම් ග්‍රැමෆෝන් තැටි කර්මාන්තයට එළඹ සිටිය ද එය සාර්ථක වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත්ව තිබුණේ නැත. මේ ව්‍යාපාරයට අලුතින් අත ගැසූ කාර්ගිල්ස් සමාගම සහ මිලර්ස් සමාගම මේ කර්මාන්තය නගා සිටුවන මාර්ගයක් සෙවූහ. අවසන් වශයෙන් ඔවුන් විසින් තීන්දු කරන්ට යෙදුණේ මේ තාක් නුර්ති ගීත වලට හා නුර්ති නාට්‍ය ශිල්පීන්ට ප්‍රමුඛස්ථානය දෙමින් පවත්වා ගෙන ආ ග්‍රැමෆෝන් සංගීතය නවත්වා දැමිය යුතු බව යි; අලුත් ග්‍රැමෆෝන් සංගීතයක් ආරම්භ කළ යුතු බව යි.

ඒ අනුව හිස් මාස්ටර්ස් වොයිස් ලේබලයේ ලාංකේය ඒජන්තවරුන් බවට පත්ව සිටි කාර්ගිල්ස් සමාගම විසින් අලුත් ම ගීත 200 ක් නිෂ්පාදනය කිරීමේ බරපතළ වගකීම පවරන්ට යෙදුණේ රූපසිංහ මාස්ටර්ට ය. රූපසිංහ මාස්ටර් වෙත මේ කොන්ත්‍රාත්තුව ගෙන ආවේ ඔහු දැන හඳුනාගෙන සිටි කාර්ගිල්ස් තැටිගත කිරීම්වල කාර්ය භාර නිලධාරියා වූ ගේබ්‍රියෙල් ගුණරත්න ය.

ගුණරත්න මහතා මේ කටයුත්ත කරගෙන යාම සඳහා රූපසිංහ මාස්ටර්ට පංචිකාවත්තෙන් කාමරයක් කුලියට ගෙන දුන්නේය. කාමරයේ ග්‍රැමෆෝනයක් විය. මෙහි නැවතී රූපසිංහ මාස්ටර් විසින් කළ යුතුව තිබුණු කටයුතු මේවාය. එනම්, (1) හඬ පරීක්ෂණ පවත්වා අලුත් ගායක ගායිකාවන් තෝරා ගැනීම (2) කාර්ගිල්ස් සාප්පුවෙන් ගුණරත්න මහතා ගෙනෙන

හින්දි, දෙමළ, වංග ග්‍රැමෆෝන් තැටි වලට සවන් දෙමින් සිංහල ගීත ලිවීම සඳහා උචිත තනු තෝරා ගැනීම ( 3 ) ඒ හින්දි දෙමළ 3ත සිංහල අකුරෙන් පිටපත් කර ගීත රචකයන් ගෙන්වා ගෙන හිත රචනා කරවා ගැනීම ( 4 ) තැටි ගත කිරීම් සඳහා ශිල්පීන් පුහුණු කිරීම ආදිය යි.

කොළඹ පදිංචි වූ රූපසිංහ මාස්ටර් මේ කටයුතු නො පිරිහෙළා ඉටු කළේය. හඬ පරීක්ෂණ වලින් රුක්මණී දේවී ඇතුළු විශිෂ්ට ගණයේ ආධුනික ශිල්පීන් රැසක් ඔහු විසින් තෝරා ගන්නා ලදි. රුක්මණි දේවී නමැති ගායිකාව සපුරා ම රූපසිංහ මාස්ටර්ගේ නිර්මාණයකි. ඩේසි ඩැනියෙල්ස් නම් වූ දහසය හැවිරිදි එම යුවතිය හඬ පරීක්ෂණයට පැමිණියේ කාර්ගිල්ස් සාප්පු වේ. ගේබ්‍රියෙල් ගුණරත්න සහ කොළඹ. කොටුවේ ඉම්පිරියල් කෙමිකල්ස් ඉංග්‍රීසි බෙහෙත් සාප්පුවේ වැඩ කළ ඩේසිගේ පියා අතර පැවති මිත්‍රත්වය හරහා ය. දෙමට ගෙ ඩ සාන්ත මැතිව් විද්‍යාලයෙහි උගෙන නුගේගොඩ උඩහමුල්ලේ නිවෙසක පදිංචි වී සිටි ඇය ඒ වන විටත් වේදිකා නාට්‍ය හතක රඟ පා තිබිණ. එනම්, වෝල්ටර් අබේසිංහගේ රාමායණය (මෙහි දී සී. ඒ. ෆොන්සේකා ඇයට රඟපෑම් පුරුදු කළ අතර කේ. ලෝරන්ස් පෙරේරා ගීත පුහුණු කළේ ය.), පී. සී. තාඹුගල සහ ඒ. එම්. ද සිල්වා නිෂ්පාදනය කළ චාල්ස් ඩයස්ගේ ‘මායාවතී ‘ . පී. පී. ආටිගලගේ ‘ රෝහිණි ‘, ඩික් ඩයස්ගේ ජානකීහරණය , ලූමන් රාජපක්ෂගේ රාජ ද්‍රෝහියා’. සී. ඒ. ෆොන්සේකාගේ කීකරු බිරිඳ ‘, විල්ෆ්‍රඩ් පීරිස්ගේ ‘රංගල අප්පු ආදිය යි. එහෙත් නිළියක වශයෙන් ඇයට කිසිදු ප්‍රසිද්ධියක් තිබුණේ නැත.

ඩේසි ඩැනියල්ස්ට රුක්මණී දේවී යන නම ලැබුණු ආකාරය ගැන විවිධ මත පවතී. (1) ප්‍රථම නාට්‍යය වූ රාමායණය වේදිකා ගත කරද්දී ය. (2) 1935 ‘රාජ ද්‍රෝහියා වේදිකා ගත කරද්දී ය. එහි දී ඇයට රුක්මණී වසුන්දරා යැයි නම් තබන්ට ගිය විට ඇයගේ පියා ‘වසුන්දරා නමට විරුද්ධ වීම නිසා මයිකල් සන්නස් ලියනගේ සහ ජයන්ත වීරසේකර විසින් ඊට ‘දේවී’

කොටස එකතු කරන ලදි. (3) වඩාත් පිළිගත හැකි මතය නම් 1939 දී, එනම් රූපසිංහ මාස්ටර් ග්‍රැමෆෝන් සංගීතය ආරම්භ කරද්දී ඩේසි ඩැනියෙල්ස්ට රුක්මණි දේවී යන නාමය ලැබුණු බව යි. ඊට සන්නස්‌ ලියනගේ මෙන්ම තැටි ගත කිරීම් භාර නිලධාරී ගේබ්‍රියෙල් ගුණරත්න ද දායක වූ බව කියැ වේ. එච්. එම්. වී. තැටි රැසකට වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ තෙල් මල් පුදා වඳිම්, සාලවනේහී වෙසගේ බුදු වේවා බුදු වේවා ආදී ගී ගැයූ මාස් ධර්මානි ආමත් නමැති මැලේ ජාතික යුවතියට නිර්මලා යන නම තැබුවෝ ද රත්න සභාපති නෝනාට කෝකිල දේවි යන නම තැබුවෝ ද මෙම ග්‍රැමෆෝන් සංගීතකාරයෝය. ගුණරත්න මහතා පවසන පරිදි සිරි බුද්ධග යා විහාරේ’ ගීතය ගයන්ට මුලින් තෝරා ගෙන සිටියේ කෝකිල දේවිය යි. එහෙත් පුහුණු වීම් වල දී රූපසිංහ මාස්ටර්ට හැගී ගියේ කෝකිල දේවියට වඩා හොඳින් රුක්මණි දේවිය ඒ ගීය ගයන බව යි. එය රුක්මණිගේ දෛවයේ ගීතය විය. ඇය ඒ එක ම ගීතයෙන් ජනප්‍රියත්වයේ ඉහළට ම පියාඹා ගියාය.

READ:   චරිත රත්වත්තේ අත්අඩංගුවට

රූපසිංහ මාස්ටර් විසින් සිය ගණන් හින්දි – දෙමළ වංග ගී තැටි අතුරින් අපේ රසිකයන්ගේ රුචියට සරිලන මධුර තනු මාලාවක් තෝරා ගන්ට යෙදුණි. ගීත රචකයන් ලවා ප්‍රශස්ත පදමාලා රැසක් ද සම්පාදනය කර ගන්ට හේ සමත් වූයේ ය. ඔහු විසින් පුරා වසරකට ආසන්න කාලයක් මේ සංගීතකොන්ත්‍රාත්තුවට කැප කරන ලදි. ගායක ගායිකාවන්ගේ හා වාදන ශිල්පීන්ගේ පුහුණු කාලය මාස හයක් විය. පෙරවරු 8 සිට 12 දක්වා ගායිකා පුහුණුවත් එතැන් සිට පස්වරු 5 දක්වා ගායක පුහුණුවත් සිදු කරන ලදි. 5න් පසු කාලය වෙන් කෙරුණේ තැටියට නැගුණු නාට්‍ය පුහුණු කිරීම සඳහායි. තැටිගත කිරීමේ කාලය මාස දෙකකි. මේ සියලු කැප කිරීම් වල ප්‍රතිඵලය වූයේ සිංහල ග්‍රැමෆෝන් සංගීතයෙහි ප්‍රථම ජනප්‍රිය ගීත සමුච්චය රූපසිංහ මාස්ටර් අතින් සම්පාදනය වීම යි.

ගීත සම්පාදනයට අමතරව රූපසිංහ

නාටක ද සම්පාදනය කළේය. සංගීත කාමරයේ දී පස්වරු 5න් පසු පුහුණු කළේ මේ නාටක යි. ඒවා නම්,

1. විධුර ජාතක නාට්‍යය (1939)

2. පද්මාගේ මංගල්‍යය : (1940) මෙය තැටි 04 ක හෙවත් පැති 08 ක නාටකයකි. ධාවන කාලය පැය 1/2 ක් පමණ වේ. පිටපත් රචක : එල්. ඒ. පී. පෙරේරා. නළු නිළියෝ : සිරිමාන්න = රොම්ලස් ද සිල්වා, පද්මා – සෝමකාන්තා, කතෝනිස් = දොන් බෙනඩික්, වික්ටර් දාබරේ = ලෝරන්ස් පෙරේරා.

3. පොලීකාරයා : (1940) මෙය තැටි 03 ක හෙවත් පැති 06 ක නාටකයකි. ධාවන කාලය විනාඩි 20 ක් පමණ වේ. (තැටි අංක N 13024 සිට N 13026 දක්වා) පිටපත් රචක: ශ්‍රී ලංකා ඩ්‍රැමටික් පාටි වෙනුවෙන් එල්. ඩී. ඒ. රත්නායක. මෙය විකට නාටකයකි.

ගුවන් විදුලිය ලංකාවේ ව්‍යාප්ත වත් ම රූපසිංහ මාස්ටර් ගුවන් විදුලි ශිල්පියෙක් බවට ද පත් වූයේ ය. 1952 දී ගුවන් විදුලි ශිල්පීන් වර්ග කිරීම සඳහා පැමිණි ඉන්දියාවේ ලක්නව්හි හාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පිඨයෙහි අධිපති එස්.එන්. රතන්ජංකර් විසින් රූපසිංහ මාස්ටර් විශිෂ්ට ගණයේ ශිල්පියකු ලෙස වර්ග කරන ලදි. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 100 න් 92 කි. රතන් ජංකර් විසින් විශිෂ්ට ශ්‍රේණියට ඇතුළත් කරන ලද අනෙක් ශිල්පීන් තිදෙනා නම් අමරදේව, මොහිදීන් බෙග් සහ කෝකිල දේවී වීරතුංග ය. ඉදිරිපත් වූ සංගීත ශිල්පීන්ගේ සංඛ්‍යාව 1800 කි. ඉන්දියානු සංගීතඥයකු විසින් සිංහල සංගීත ශිල්පීන් ශ්‍රේණිගත කරනු ලැබීමට විරෝධය පෑම් වශයෙන් ආනන්ද සමරකෝන් සහ සුනිල් සාන්ත මේ හඬ පරීක්ෂණය වර්ජනය කළහ.

හඬ පරීක්ෂණය අවසන් කර සිය රට බලා ගිය රතන් ජංකර්, මෙ රටින් ගෙන ගිය එක ම සිහි කටයුතු වස්තුව වූයේ රූපසිංහ

මාස්ටර් ගැයූ ශ්‍රී රාහුල හිමිගේ නාමේ’ ගීතය සහිත තැටිය යැයි 1978 අප්‍රේල් 21 වැනි දා ඇත්ත පත්‍රයට ලිපියක් ලියූ ජී. ටී. වික්‍රමසිංහ පවසා තිබේ. හඬ පරීක්ෂණය සඳහා රතන්ජංකර් ඉදිරියෙහි දී රූපසිංහ මාස්ටර් ගයා තිබුණේ ද ශ්‍රී රාහුල හිමිගේ නාමේ’ ගීතයයි.

ස්වකීය ගායන හැකියාව අඛණ්ඩව පවත්වා ගෙන ගිය රූපසිංහ මාස්ටර් 1968 ගුවන් විදුලියෙහි දී කෙරුණු ශාස්ත්‍රීය සංගීත පරීක්ෂණයෙන් ද ලකුණු 93 ක් ලබා විශිෂ්ට ශ්‍රේණිය ලබා ගත්තේය.

රූපසිංහ මාස්ටර්, පසු කාලයේ දී ගුවන් විදුලි හඬ පරීක්ෂණ මඬුල්ලේ නිත්‍ය සාමාජිකයකු ලෙස පත් කරන්නට යෙදුණි. සෙසු සාමාජිකයන් වූයේ සුනිල් සාන්ත සහ අමරදේව යි.

ටවර් නෘත්‍ය ශාලාව, සිනමා ශාලාවක් බවට පත් වීමත් සමග රූපසිංහ මාස්ටර්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ඇණ හිටියේ ය. නාට්‍ය වලට සංගීතය සම්පාදනය කළ ඇතැම් වාද්‍ය ශිල්පීන් නිහඬ චිත්‍රපටවලට සජීව පසුබිම් සංගීතය සැපයීම සඳහා සිනමා ශාලා වෙත ගියත් රූපසිංහ මාස්ටර්ට සිනමාව අරුචි විය. ග්‍රැමෆෝන් තැටි වලට සංගීතය සැපයීම ද රූපසිංහ මාස්ටර් වෙතින් වෙනත් සංගීතඥයන් වෙතට සංක්‍රමණය විය. ගුවන් විදුලියෙන්ද කොළඹ ජීවත් වීමට ප්‍රමාණවත් ආදායමක් ලැබුණේ නැත. කොළඹ, මරදානේ පිහිටා තිබුණු සමරකෝන් ඡායාරූප ශාලාව උඩු මහලේ සංගීත පන්තියක් ආරම්භ කොට එහි ගායනය සහ වාදනය ඉගැන්වීමට පටන් ගත් නමුත් එය ද වැඩි කලක් සාර්ථක ව පවත්වා ගෙන යන්ට රූපසිංහ මාස්ටර් නො පොහොසත් විය.

කොළඹ පදිංචිය අත හැර දැමු රූපසිංහ මාස්ටර් පෙරළා සිය ගම රට බලා ගියේ ය. නිල්වලා ගඟ බඩ නිවස යළි ඔහුගේ වාසස්ථානය විය. ගුවන් විදුලියට සම්බන්ධ වූ මුල් කාලයේ

දී රූපසිංහ මාස්ටර්ට එයින් මුදල් ලැබුණේ නැත. එහෙත් මෝටර් රථයක පැමිණීම සඳහා රුපියල් 7/50 ක් ගෙවන ලදී. ක්‍රමයෙන් මුදල් අගහිඟකම්වලට මුහුණ දෙමින් සිටි රූපසිංහ මාස්ටර් රුපියල් 7/50 ලබා ගෙන බස් රියෙන් ගුවන් විදුලියට ගොස් වැඩ සටහන් වලට සහභාගි විය. අනතුරු ව විනාඩි 15 ක වැඩ සටහනකට රුපියල් 15/- බැගින් ගෙවන ලදි. සංගීතවෘත්තියෙන් බිරිඳ හා දරු තිදෙනා පෝෂණය කරමින් සිටි ඔහු සියලු ආදායම් මාර්ග ඇණ හිටීමෙන් ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දුන්නේ ය. මෙයින් මිදීම සඳහා රූපසිංහ මාස්ටර් මාතර බ්‍රෝඩ්වේ පාරේ කඩ කාමරයක සංගීත පන්තියක් ආරම්භ කළේ ය. එහි ශිෂ්‍යයෝද සිටියහ. එහෙත් හරිහැටි මාසිකව මුදල් ගෙවුවේ ටික දෙනෙකි. ඒ නිසා කලකින් පන්තිය වැසී ගියේ ය. ගුවන් විදුලි ගීත සමීක්ෂණය හෙවත් ප්‍රචාරය සඳහා සරල ගී වල යෝග්‍ය අයෝග්‍ය බව විමසා බැලීම වෙනුවෙන් රුපියල් 90/- ක මාසික දීමනාවක් පමණක් ඔහුට ලැබිණ. මාතර සිට කොළඹට දුම්රිය බලපත්‍රයක් ද එවන්ට යෙදුණි. ඉඳහිට වේදිකා සංදර්ශනයක් සඳහා ද ඇරැයුමක් ලැබුණේය. එහෙත් රෝගී තත්ත්වයක් උද්ගත වීම නිසා ඉඳ හිට සිදු කෙරුණු ගුවන් විදුලි ගමන පවා නතර කර දමන්ට ඔහුට සිදු විය.

රූපසිංහ මාස්ටර්ට උපහාර දැක්වීම සහ ආධාර කිරීම සඳහා රජයේ සංගීත විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් 1970 සැප්තැම්බර් 30 වැනි දා බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන ලදි. රුක්මණී දේවී, කෝකිලදේවී වීරතුංග, අමරදේව, සුජාතා අත්තනායක. දයාරත්න/අමරා රණතුංග, සිසිර/ ඉන්ද්‍රානි සේනාරත්න, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, රෝහිත විජේසූරිය, ෂෙල්ටන් ප්‍රේමරත්න ඇතුළු විශාල පිරිසක් ගී ගැයූ මේ උළෙලෙහි ප්‍රධාන අමුත්තා වූයේ ප්‍රවෘත්ති ඇමති ආර්. ඇස්. පෙරේරා ය. රූපසිංහ මාස්ටර්, මේ ප්‍රසංගයට සහභාගි වීමට තරම් නිරෝගී තත්ත්වයක නො සිටි අතර ප්‍රසංගයෙන් ලැබුණු රුපියල් 500 ක මුදල ආදී

ශිෂ්‍ය සංගමයේ ලේකම් ඩබ්ලිව්. ඒ වික්‍රමසේන විසින් මාතරට ගොස් භාර දෙන ලදි.

රූපසිංහ මාස්ටර්ගේ රෝගී තත්ත්වය දැන ගත් මාපලගම විපුලසාර හිමියෝ සංස්කෘතික උප ඇමති සෝමවීර චන්ද්‍ර සිරි සමඟ මාතරට ගොස් රුපියල් 1000 ක මුදලක් පරිත්‍යාග කළහ. මේ මුදල් පරිත්‍යාගයට ස්තුති කරමින් ග්‍රැමෆෝන් යුගයේ ප්‍රවීණ ගීත රචතයකු සහ සංගීතඥයකු වූ යූ. ඩී. පෙරේරා එච්. ඩබ්ලියු. රූපසිංහ මහතාට උපහාර මැයෙන් දිනමිණට ලිපියක් ද ලිවී ය. ලියුම්කරු මෙහි දී වෙසෙසින් සඳහන්කර සිටියේ ඒ යුගයේ හැම සංගීතඥයකු ම ජීවිතයෙහි අවසාන භාගයෙහි අසරණ ව මිය ගිය බව යි. සංගීතයේ පුනර්ජීවනය පතා ගාන්ධර්ව සභාව සහ රජයේ සංගීත විද්‍යාලය පිහිටු වීමට පුරෝගාමී ව ක්‍රියා කළ ඇම්. ජී. පෙරේරා මහත්මා අවසාන කාලය ගෙවූ සැටිත් චතුර ගායකයකු මෙන්ම වාදකයකු වශයෙන් භාරත වැසියන් අතර පවා ගෞරවයට පාත්‍ර වූද සිය ජීවිත කාලය ම සංගීතය සඳහා කැප කළා වූ ද සංගීතාචාර්ය ජේ. සාද්‍රිස් සිල්වා, ඇම්. ඇස් පෙරේරා, බී. එඩී ද සිල්වා ආදී සුප්‍රසිද්ධ සංගීතඥයන් ද කාලයක් මුළුල්ලේ අසරණ භාවයෙන් ඔත්පල ව සිට අවසන් හුස්ම හෙළුවේ අන්ත දුගී නියාලු තත්ත්වයෙන් බව ඒ අභාග්‍ය සමයේ ඔවුන් ඇසුරු කළෝ පමණක් දනිති.

READ:   චරිත රත්වත්තේ අත්අඩංගුවට

බලවත් සේ ගිලන් වූ රූපසිංහ මාස්ටර් 1971 අප්‍රේල් 23 වැනි දා ගාලු මහ රෝහලට ඇතුළත් කරන ලදි. රූපසිංහ මාස්ටර් රෝහලේ’ යන හිසින් කැකණදුර වාර්තාකරු විසින් ඒ සිද්ධිය දිනමිණි විට වාර්තා කරන්ට යෙදුණි. එයින් සිවු දිනක් ඇවෑමෙන් එනම් 1971 අප්‍රේල් 27 වැනි දා අවුරුදු හැත්තෑ හයක් ආයු වැළඳූ රූපසිංහ මාස්ටර් අවසන් හුස්ම හෙළුවේ ය.

1971 අප්‍රේල් 28 වැනි දා ලංකාදීප හා දවස පුවත්පත්වල මුල් පිටුවේ මෙ පුවත පළ වී තිබිණ. අප්‍රේල් 29 වැනි දා දවස පත්‍රයේ වූ පුවතක සිරස්තලය වූයේ මහා ගායකයාගේ

අවමගුල 30 වැනි දා යනු යි.

රූපසිංහ මාස්ටර්ගේ මළගම වෙනුවෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් රු. 500/- මුදලක් පිරිනමන ලදි. එම මුදල මාතර දිසාපති කාර්යාලයේ දී රූපසිංහ මහත්මිය වෙතභාර දෙන්ට යෙදුණේ මාතර මහජන මන්ත්‍රී සහ අධ්‍යාපන උප ඇමති බී. වයි. තුඩාවේ සහ මාතර දිසාපති ගාවින් කරුණාරත්න විසිනි.

මේ වනාහි 71 අප්‍රේල් කැරැල්ල හේතු කොටගෙන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ සමයයි. එබැවින් මාතර ප්‍රසිද්ධ සුසාන භුමියේ පැවැත්වුණු අවමඟුල් උළෙල පස්වරු 6.30 ට පෙර අවසන් කරන ලදි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූයේ පස්වරු 630 සිට පසු දා පෙරවරු 5.30 දක්වා යි. අවමඟුල් උළෙලේ දී තුඩාවේ උප ඇමතිවරයා රූපසිංහ පවුල වෙත රජයේ සහ මාතර ජනතාවගේ සෝකය පළකර සිටියේ ය. සිංහල බුදු ගුණ ගී ගයා ගුණ ගරුක ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කළ රූපසිංහ මාස්ටර්ට මුළු මහත් ජනතාව සදා උපහාර දැක්විය යුතුයැයි මාතර, පික්වැල්ල විහාරවාසී පනම්වෙල රාහුල හිමියෝ ප්‍රකාශ කළහ. රුක්මණි දේවිය කතා කරමින් කියා සිටියේ තමා ආරක්ෂා කර හදා වඩා සංගීත ලෝකයට එන්ට මඟ පාදා දුන් රූපසිංහ මාස්ටර්ට ගුරුවරයකු හැටියටත් පියකු හැටියටත් තමාගේ ගෞරවය සදා හිමි වන බව යි. මාතර හිටපු මහජන මන්ත්‍රී ජස්ටින් විජයවර්ධන සහ ගීත රචක එම්. ඩබ්ලිව්. එන්. එස්. විජයසිරි වෙද මහතා ද මෙහි දී කතා කළහ. කඹුරුපිටිය දිනමිණ වාර්තාකරු මේ අවමඟුල් උළෙල වාර්තා කළේ රූපසිංහ මාස්ටර්ගේ අභාවය ජාතියට ම සිදු වුණු පාඩුවක් යන හිසිනි.

කෝකිල දේවී. 1971 මැයි 02 දින ‘රිවිරැස පත්‍රයට පහන් තරුවක් නිවේ’ යන මැයෙන් ලිපියක් ලීවා ය. 1971 මැයි 07 වැනි දා වනිතා විත්ති’ පත්‍රයට සංගීත ගුරු දෙවිඳු අවසන් ගමන් යයි යන හිසින් ලිපියක් ලියූ රුක්මණි දේවීය මෙසේ පැවසුවාය. ” මට

යම් දිනෙක මා අමතක වුව ද රූපසිංහ මාස්ටර් අමතක වන්නේ නැත. සංගීතඥයකුටත් වඩා පියකු හා ගුරුවරයකු හැටියට එතුමා මගේ ගෞරවයටත් පූජනීයත්වයටත් පාත්‍ර වෙයි……. සංගීතශිල්පය වෙනත් බාහිර ප්‍රයෝජනයන්ට ගැනීමෙන් වැළකී සිටි එතුමා සංගීත කලාවෙහි උත්තරීතර භාවයත් සංගීතඥයාගේ පූජනීයත්වයත් මැනවින් ලොවට විදහා දැක්වීය. ආධුනිකයකුට සංගීතඥයකුට ළං වීම පවා අසීරු කාලයක එතුමා අප සංගීතලොවට හඳුන්වා දුන්නේ ය” මාතර ජී. ජී. පුංචිහේවා 1981 අප්‍රේල් 26 වැනි දා ‘රිවිරැස පුවත්පතට අවුරුදු 10 කට පෙර වෙන් වූ රුහුණේ කෝකිලයා’ යන මැයෙන් ලිපියක් ලියමින් කියා සිටියේ රූපසිංහ මාස්ටර් යනු ශාස්ත්‍රීය ගායනයෙහි සහ තබ්ලා වාදනයෙහි උපරිම අවස්ථාව පිළිබඳ ප්‍රතිමූර්තියක් බව යි.

රූපසිංහ මහත්මිය 1983 ජුලි 26 වැනි දා අභාවප්‍රාප්ත වූවා

රූපසිංහ මාස්ටර්ගේ දරුවන් අතුරින් සංගීතයට යොමු වූයේ දෙවැන්නා වූ ලාල් රූපසිංහ පමණි. ඔහු බොහෝ කලක් ගුවන් විදුලි ස්ථිර වාදක මණ්ඩලයෙහි තබ්ලා වාදකයෙක් ලෙස සේවය කළේ ය. ඉරන්දි නිරෝෂිණී රූපසිංහ, නුවන් සංජීව රූපසිංහ, පමුදි හර්ෂණී රූපසිංහ, වන්දි සංජීවනී රූපසිංහ ආදීහු ලාල්ගේ දරුවෝ ය. ඉරන්දි සංගීත ගුරුවරියකි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ එළිමහන් රඟමඬල එච්. ඩබ්ලියු. රූපසිංහ එළිමහන් රඟමඬල’ යනුවෙන් නම් කරන්ට යෙදුණි

විශිෂ්ට වාදකයා, විශිෂ්ට ගායකයා, විශිෂ්ට ගායක ගායිකාවන් රැසක් සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දුන් සංගීතාචාර්යවරයා, වාද්‍ය වෘන්ද නියමුවා යන භූමිකා කිහිපය හේතු කොටගෙන රූපසිංහ මාස්ටර්ගේ නාමය සිංහල සංගීත ක්ෂේත්‍රයෙහි අමරණිය වන්නේය

. විශිෂ්ට තබබ්ලා වාදකයකු වූ විජයරත්න රණතුංග පවසන්නේ තබ්ලා වාදනය ක්‍රමානුකූල ව හදාළ ප්‍රථම ලාංකේය ශිල්පියා රූපසිංහ මාස්ටර් බව යි. (තබ්ලාව, පි. 51)

රූපසිංහ මාස්ටර් තබ්ලා, හාර්මෝනියම්, වයලීන් යන තූර්ය භාණ්ඩ තුන ම වාදනය කළේය. ඒ අතුරින් ඔහු විශිෂ්ට කුසලතා දැක්වූයේ තබ්ලා වාදනයට ය. නුර්ති නාටකවල තබ්ලා වාදනය සඳහා භාරතීය වාදකයන් ආනයනය කළ යුගයක ඔවුන් හා උරෙනුර ගැටෙමින් ශිල්ප දක්වන්නන්ට හේ සමත් විය. එමතු නොව ඔහු තමා උගත් ශිල්පය ගෝල බාලයන්ට නො මසුරු ව බෙදා දුන්නේ ය. එවක තබ්ලා වාදකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි පොඩි අමරදාස, රූපසිංහ මාස්ටර්ගේ ගෝලයකු වූ අතර ජේ. ඒ. එඩ්වින් පෙරේරා හෙවත් නිල් වීදියේ පොඩි අප්පුහාමි (ගායක ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ පියා) නමැති දක්ෂ තබ්ලා වාදකයා ගුරු හරුකම් ලබා ගත්තේ ද රූපසිංහ මාස්ටර්ගෙනි. රූපසිංහ මාස්ටර්ගේ සමකාලිකයෙකු වූ යූ. ඩී. පෙරේරා පවසන්නේ රූපසිංහ මාස්ටර් තරුණ වියෙහි දී තබ්ලා වාදනයෙන් ප්‍රවීණ භාරතීය ශිල්පීන් හා කරට කර සිටිමින් ද ඇතැම් විට ඔවුන් අබිබවා යමින් ද රටේ ගෞරවය රැක ගත් බව යි.

රූපසිංහ මාස්ටර්ගේ තබ්ලා වාදන අසා නැති අය සිටිය ද ඔහුගේ හඬ අසා නැති අය නම් සංගීත රසිකයන් අතර සිටිය නොහැකි ය. මන්දයත් ඔහු සිංහල ගායක පරපුරෙහි ජ්‍යෙෂ්ඨතම හා විශිෂ්ටතම ගායකයෙක් බැවිනි.

ග්‍රැමෆෝන් තැටි සඳහා ගී ගැයූ අපේ ආදිතම ගායක ගායිකාවන් වනාහි නුර්ති නාට්‍යවල රඟ පෑ නළු නිළියෝ ය. වේදිකාවේ රඟපාමින් ගයන ගායකයා එදා පමණක් නො ව අද ද උස් හඬින් ගයන්නෙනෙකි

මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ ලිපියක් ඇසුරෙන් ….

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්