ලංකාවට මහජන ව්‍යවස්ථා සම්පාදනයක් අවශ්‍යයි කියන අදහස පතුරු ගසන විවේචනයක් පසු ගිය “අනිද්දා” පුවත් පතේ “මහජන ව්‍යවස්ථාව මිත්‍යාව සහ ඇත්ත” යන තේමාව යටතේ පළ කර තිබුනි. එම ලිපිය ලියා තිබුනේ එම පුවත්පතේ කතුවරයාය. ඔහු නීතිතිඥයෙකුද නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගයට පෙනී සිටින නීති ශිෂ්‍යන්ට නීතිය උගන්වන ගුරුවරයෙකුද වේ. එසේම ඔහු යහපාලන ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ආරක්ෂාව වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටි කෙනෙකු ලෙසද සැලකිය හැකිය. ඔහු එම ලිපියෙන් මහජන ව්‍යවස්ථා සම්පාදනක් පිළිබද අදහසට එරෙහිව ප්‍රධාන ප්‍රශ්න 8 ක් ඉදිරිපත් කර තිබෙන අතර ඒවා මෙසේය.
- මේ මහජනතාව යනු කවුද? ඒ මහජනතාවට ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් ලක්ෂ 69 ත් අයත්ද?
- එකී මහජනතාව ව්‍යවස්ථා සම්පාදනය පටන් ගන්නේ කොතැනින්ද? ඊට මුල් වන්නේ කවුද? ඒ සදහා ඒ අයට බලය ලැබෙන්නේ කොතනින්ද?
- ගමෙන් ගමට නගරයෙන් නගරයට හැම සියළු ජනතාවක්ම වාඩි වී ඍජුව ව්‍යවස්ථාවක අඩංගු විය යුතු කරුණු කථා කරනවාද?
- එසේ ව්‍යවස්ථාව සැදීමේ පියවර එකින් එක මොනවාද?
- ඒ විදියට මහජනතාවගෙන් හැදෙන කෙටුම් පතට නීතිමය බලය ලැබෙන්නේ කොහොමද? මහජනයා හැදූ නිසා එනයින්ම ව්‍යවස්ථාව නීතිගත වේද?
- එම ව්‍යවස්ථාව නීතිගත වන්නේ 1978 ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්වද?
- පවතින ව්‍යවස්ථාවට පිටතින් නම්, එවැන්නක් නීති ගතවීමට බලයක් ලබා දෙන අලුත් විප්ලවයක් මේ මෑත කාලයේ සිදුවුනාද? (නිදහසින් පසු ඉන්දියාවේ මෙන්, කළු ජාතිකයින්ට බලය හිමි වුනාට පසු දකුණු අප්‍රිකාවේ මෙන්, අඩු ගනනේ ඩොමීනියන් තත්වයෙන් මිදී ජනරජයක් සදහා ජනවරමක් ලැබුන ලංකාවේ 1970 මෙන් වත්?)
- මහජන ව්‍යවස්ථා කෙටුම් පතට කිසිවෙක් සංශෝධන යෝජනා කරන්නේ නම් ඒ සම්බන්ධ ක්‍රියා මාර්ග කුමක්ද?අභියෝග කළ යුතු නම් කළ යුත්තේ කෙසේද?
පළමු ප්‍රශ්නයට දිය හැකි පිලිතුර වනුයේ ගෝඨාභයට ජන්දය දුන් 69 ලක්ෂයද අයත් වන්නේ ජනතාව යන ගණයට වන බවය. 2016 දී ඔවුන් ගෙන් කිසියම් ලොකු පිරිසක් ඡන්දය දී තිබෙන බව පෙනෙන්නේ මහින්ද රාජපකෂට එරෙහිව යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටි අපේක්ෂකයාටය.
එකී මහජනතාව ව්‍යවස්ථා සම්පාදනය පටන් ගන්නේ කොතැනින්ද? ඊට මුල්වන්නේ කවුරුන්ද? ඒ සදහා ඒ අයට බලය ලැබෙන්නේ කොතනින්ද? යන දෙවැනි ප්‍රශ්නයට දිය හැකි පිළිතුරු මෙසේය. ජාතීන්ට අළුත් ව්‍යවස්ථාවක් අවශ්‍යවන අවස්ථා විවිධ ආකාරයෙන් පහළ විය හැකිය. විදේශ ආධිපත්‍යක තිබී නිදහස හිමිකරගත් ජාතියකටද, ඒකාධිපති හෝ පීඩාකාරි පාලනයක් තිබී එම තත්වයෙන් නිදහස්වූ ජාතියකටද, අභ්‍යන්තර ගැටුම් තිබී සාමය උදාකරගත් ජාතියකටද අළුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය විය හැකිය. ඊට වඩා සරළ වෙනස් හේතු නිසාද ජාතින් අළුත් ව්‍යවස්ථා හදා ගන්නා තැනකට යා හැකිය. අළුත් ව්‍යවස්ථාවක් සදහා මහජනයා ගෙන් එල්ලවන දැඩි බලකිරීම් නිසා අළුත් ව්‍යවස්ථාවක් හදා ගන්නා තැනකට ගිය ජාතීන්ද සිටිති. ඒ සියළු හේතුන්ට වෙනස්ව කිසියම් ජාතික රාජ්‍යයක් සිය කටයුතු කරගෙන යාමට බැරි තරමට අර්බුදයකට ගිය විට, හොදටම ජරාජීර්ණ තත්වයකට පත් වූ විට හෝ අසමත් තත්වයකට පත්වූ විට එම තත්වයෙන් අත්මිදීම සදහාද නව ව්‍යවස්ථාවක් ඇති කර ගන්නා තැනකට යා හැකිය. 1990 වසර වන විට දකුණු අප්‍රිකාව තිබුණේ ඒ හා සමාන තත්වයකය. මේ වන විට කිසියම් විශාල ප්‍රමානයකට ලංකාව තිබෙන්නේද එදා දකුණු අප්‍රිකාව තිබූ තත්වයට සමාන තත්වයකය. දකුණු අප්‍රිකාණු අත්දැකීමෙන් ලොකු අර්බුදයක සිටින ලංකාවේ අපට ද ඉගෙන ගත හැකි වැදගත් පාඩමක් තිබෙන්නා සේම ප්‍රශ්නකරු මතු කර තිබෙන දෙවැනි ප්‍රශ්නයටද ඒ මගින් පිලිතුරු දිය හැකිය.
දකුණු අප්‍රිකාව හා ලංකාව
දකුණු අප්‍රිකානු අත්දැකීම සැකෙවින් සලකා බලතොත් හිරගෙදර සිටි මැන්ඩෙලා හා අගමැති බෝතා අතර පළමු හමුව සිදුවන්නේ 1989 දීය. 1990 පෙබරවාරි 02 වනදා අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට හා කොමිනිස්ට් පක්ෂයට එරෙහිව පනවා තිබු පක්ෂ තහනම ආණ්ඩුව ඉවත් කළේය. ඉන් දින දහයකට පසුව මැන්ඩලාට නිදහස ලබා දෙන ලදී. 1990 අගෝස්තු 06 වනදා රජයට එරෙහිව පවත්වාගෙන යමින් තිබූ සන්නද්ධ අරගලය අවසන් කිරීමට අප්‍රිකානු කොන්ග්‍රසය තීන්දු කොට ඒ බව ප්‍රකාශයට පත් කළේය. ඉන් පසු එතෙක් පැවති රහසිගත කතාබහ වෙනුවට 1990 වේදී නිල සාකච්ඡා ආරම්භ විය. වර්ණ භේදවාදයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී දකුණු අප්‍රිකාවක් ගොඩනගා ගැනීම සදහා අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම සදහා යොදාගත යුතු ක්‍රියාවලිය පිලිබදව සාකච්ඡා ආරම්භ කෙරුනේ 1991 දීය. අගමැති බෝතාගේ ආණ්ඩුව ගෙනයමින් තිබුන සාම වැඩ පිලිවෙල සුදු ජනයා අතර ක්‍රියාත්මක වූ දක්ෂිණාන්ශික දේශපාලන පක්ෂයක් වූ කන්සවේටිව් පක්ෂයේ බලවත් විරෝධයට හේතු වී තිබුනි. අගමැති බෝතාගේ අණ්ඩුවට අප්‍රිකානු ජාතික කොන්ග්‍රස් පක්ෂය සමග සාකච්ඡා කරන වැඩසටහනක සුදු ජනයාගේ අනුමැතිය ලැබී නැති බවට එම පක්ෂයේ නායකයා දිගින් දිගට චෝදනා කරන්නට වීම නිසා සුදු ජනයාට පමණක් සීමාවූ ජනමත විචාරණයක් පවත් වන්නට අගමැති බෝතාට සිදු විය. 1992 මාර්තු වලදී පැවති එම ජනමත විචාරණයෙන් වර්ණ බේදවාදි ක්‍රමය අවසන් කරනවාට පක්ෂව සුදු ජන්ද දායකයින් සියයට 68.73 ක අනුමැතිය ලැබුනි. ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මත බල පවත්නා මූලධර්ම 34 ක් හා කාර්‍ය පටිපාටින්ද ඇතුලත් හා අන්තර් වාර පාලනයකට බලය ලබා දෙන අතුරු ව්‍යවස්ථාවක් පිලිබදව දෙපක්ෂය අතර 1993 අප්‍රේල් වලදී පොදු එකඟතාවක් ඇතිකර ගන්නා ලදී. ඒ සදහා පාර්ලිමේන්තුවෙන් පිටස්තරව කෙටුම් පත් කෙරුනු අතුරු ව්‍යවස්ථාව 1993 අංක 200 දරන පනත වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරි පත්කරන ලදුව 1994 අප්‍රේල් 24 වනදා තුනෙන් දෙකකටත් වැඩි ඡන්දයකින් සම්මත විය. මැතිවරණයක් පවත්වා අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කොට එය නීති ගත කරගන්නා තෙක් වසර 5 ක කාලයක් සදහා සර්ව පක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගත යුතු අකාරයත්, ව්‍යවස්ථාව සම්පාදනය විය යුතු ආකාරයත්, අනෙකුත් ප්‍රතිසංස්කරණ සිදු විය යුතු අකාරයත් එම අතුරු ව්‍යවස්ථාවෙන් පැහැදිලි කර තිබුනි. අළුත් ව්‍යවස්ථාව කෙටුම්පත් කොට එය සම්මත කරගන්නා තෙක් මැතිවරණයෙන් පසු බිහිවන සර්ව පාක්ෂික ආණ්ඩුව සියළු කටයුතු කළ යුතුව තිබුනේ එම අන්තර් කාලීන ව්‍යවස්ථාවේ එන කොන්දේසි හා මග පෙන්වීම් වලට අනුකූලවය.
දකුණු අප්‍රිකාවේ එම අත්හදා බැලීම ආශ්‍රයෙන් මෙම ඓතිහාසික මොහොතේදී ලංකාවේ අපටද උගත් හැකි වැදගත් පාඩමක් තිබේ. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමයකදී මුහුණ දෙන්නට සිදුවන සමහර ව්‍යවස්ථාමය කඩුලු සම්මත හුරු පුරුදු ක්‍රමයට ජය ගත නොහැකි අවස්ථා තිබිය හැකිය. එවැනි අවස්ථාවල නෛතික අඛණ්ඩතාවයේ බිඳීමක් ඇති නොවන ලෙස එම කඩුලු තරණය කළ හැකි ක්‍රම තිබිය හැකිය. දකුණු අප්‍රිකාව සදහා සකස් කළ පරිවර්තන වැඩසටහනෙදී මැන්ඩෙලා හා අගමැති බෝතා හා පසුව අගමැති කලර්ක් තෝරා ගත් ක්‍රමය නීතියට අනුකූල වුවද අසම්ප්‍රදායිකය. අළුත් ව්‍යවස්ථාව හදා ගෙන එය සම්මත කරගන්නා තෙක් බලපවත්වන අන්තර් කාලීන ව්‍යවස්ථාව කෙටුම්පත් කෙරුනේ ව්‍යවස්ථාදායකය තුළ නොව ඉන් පිටතය. එය හදන්න දායකවූ මැන්ඩෙලා හෝ ඔහු ගේ කණ්ඩායමේ කිසිවකු පාරලිමේන්තු මන්ත්‍රීවරුන් නොවීය. ඉන් පෙන්නුම් කෙරෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බලවත් හා ක්‍රියාකාරි මහජන කණ්ඩායමකට වුවද සැබෑ පරිවර්තනක් සදහා සුදුසු තත්වයක් මෝරා තිබෙන අවස්තාවකදී එම අවකාශය ඉතා සියුම් හා ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනට ගැනීම මගින් සමහර විට කිසියම් විශාල ප්‍රමාණයකට සාම්ප්‍රදායික රාමුවෙන් පරිබාහිරව පවා පරිවර්තන අරමුණ සදහා මාර්ගයක් පාදා ගත හැකි බවය.
ලංකාවද දැන් තිබෙන්නේද කිසියම් විශාල ප්‍රමාණයකට එදා දකුණු අප්‍රිකාව තිබූ තත්වයට සමාන තත්වයකය. ආණ්ඩුව බලයට පත්වූයේ විශාල ජනවරමකින් වුවද දැන් ආණ්ඩුව තිබෙන්නේ මහජනයාගේ බලවත් විරෝධයට හා කෝපයට හේතුවී තිබෙන තත්වයකය. රටේ අර්බුදය තිබෙන්නේද ආණ්ඩුවට පාලනය කල නොහැකි තත්වයකය. මහජනයා අතර ආණ්ඩු විරෝධය තිබෙන්නේ ඉහ වහා ගිය තත්වයක වුවද විරුද්ද පක්ෂ ඊට ගැලපෙන ප්‍රමාණයකින් ශක්තිමත් කිරීමට හේතුවී නැත. ආණ්ඩුව තිබෙන්නේද වර්ධනය වන අර්බුදය ඉදිරියේ නිල කාලය අවසන් වනතෙක් වත් අල්ලාගෙන සිටිය නොහැකි දුර්වල තත්වයකය. රටට විය හැකිව තිබෙන විනාශය අවම කරගනිමින් ආත්ම විශ්වාසයකින් නැගී සිටින තත්වයක් ඇති කර ගැනීමට හැකි වනු ඇත්තේ නව ව්‍යවස්ථා සම්පාදනයක්ද ඇතුලත් සැබෑ ව්‍යූහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට රට යොමු කිරීමෙනි. මේ රටේ මහජන සංවිධාන එම අරමුණ වෙනුවෙන් එකට එකතුවී බලවත් ලෙස හඩ නගන තත්වයක් ඇතිකළ හැකි නම් දකුණු අප්‍රිකාවේ මෙන් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සදහා මාර්ගයක් පාදා ගැනීමට හැකි විය හැකිය. එවැනි වැඩසටහනකට දොරටු විවෘත කිරීම මගින් ජනාධිපතිවරයාට නැවත මහජනයාගේ පිළිගැනීමට හේතුවන තත්වයක් ඇති කරගත හැකිය. ආණ්ඩුවට හා විරුද්ධ පක්ෂ ව්‍යාපාර වලටද රටේ ගමන් මග වෙනස් කිරීමට හේතුවන එවැනි වැඩසටහනකට ක්‍රියා කාරි ලෙස සම්බන්ධ වීමට පුලුවන් කම ලැබීම තුළ ඒවාට කිසියම් ප්‍රමාණයකට පිළිගැනීමක් ලැබෙන තත්වයක් දිනා ගත හැකිය. එවැනි තැනකට යාමට ලංකාව සමත් වේ නම් බලාපොරොත්තු අහිමි කරගෙන සිටින ජනතාව තුළ අලුත් බලාපොරොත්තු ඇති කිරීමට හේතුවී ලංකාව මහා අගාධයක් කරා යන ගමන ආපසු හැරවීමට හැකි වනු ඈත. එවැනි ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් සදහා දොරටු විවර කරගැනීමට හැකි වෙතොත් එම ප්‍රතිස්ංස්කරණ වැඩසටහන සදහාද දකුණු අප්‍රිකාවේ මෙන් අතුරු ව්‍යවස්ථාවක් අවශ්‍ය වනු ඇත. ඒ සියල්ල කර ගත හැකිවනු ඇත්තේ පවතින සමාජ අර්බුදය විසින්ම ගෝඨා, බෝතා කෙනෙකු බවට පත් කිරීමට සමත් වේ නම් පමණය.
ජාත්‍යන්තර නිදර්ශන
මේ අර්බුදය තුළ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සදහා මාර්ගයක් පාදා ගැනීමට දරන බලවත් මහජන උත්සහය අසාර්ථක වුවද එය අපතේ ගිය දෙයක් බවට පත්වන්නේ නැත. ඒ සදහා දරන මහජන උත්සහාය බලවත් වන තරමට එම ප්‍රතිසංස්කරණ මහජනයාගේ හදවත් වලට බද්ද වනු ඇති අතර එය ඊලග ආණ්ඩු පෙරලිය හා ඒ ආශ්‍රයෙන් සිදුවන ප්‍රතිසංස්කරණ කෙරෙහි බලපාන මහා සාධකය ලෙසද ක්‍රියා කරනු ඇත.
ප්‍රශ්න කරන්නාගේ 3 වැනි හා 4 වැනි ප්‍රශ්න මෙසේය.
- ගමෙන් ගමට නගරයෙන් නගරයට හැම සියලු ජනතාවක්ම වාඩිවී ඍජුව ව්‍යවස්ථාවක අඩංගු විය යුතු කරුණු ගැන කථා කරනවාද?
- එසේ ව්‍යවස්ථාව සෑදීමේ පියවර එකින් එක මොනවාද?
එම ප්‍රශ්න දෙකෙන් පෙනෙන්නේ මහජන ව්‍යවස්ථා සම්පාදන ක්‍රමයක් හෙවත් “සහභාගී ව්‍යවස්ථා සම්පාදන ක්‍රමයක්” ගැන ප්‍රශ්න කරන්නා අසාවත් නැති බවය. මෙය ලංකාවේ පළමු වරට අත් හදා බලන්නට උත්සහා කරන ක්‍රමයක් නොව පසුගිය වසර 40 තුළ ව්‍යවස්ථා සම්පාදනයන්ට යොමුවූ රටවල් අතරින් වැඩිම රටවල් ගණනක් අත් හදා බලා ඇති ක්‍රමයකි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ද අනුමැතිය ලැබී තිබෙන ක්‍රමයකි. එම ක්‍රමය හැදින්වෙන්නේ 21 වන සියවසේ ව්‍යවස්ථා සම්පාදන මාදිලිය වශයෙනි. එම ව්‍යවස්ථා සම්පාදන මාදිලිය ක්‍රියාත්මක වී තිබෙන රටවල් සමහරක් මෙසේය. නේපාලය (2015), කෙන්යාව (2010), රුවන්ඩාව (2002), තායිලන්තය (1997), එරිත්‍රියාව හා වෙනිසූලියාව (1999), දකුණු අප්‍රිකාව (1994), උගන්ඩාව හා බ්‍රසීලය (1988), නිකරගුවාව (1986) හා නැම්බියාව (1985). මහජන ව්‍යවස්ථා සම්පාදනයට අදාලව මේ මොහොතේ චිලී රටේ වැදගත් අත් හදා බැලීමක් සිදුවෙමින් පවතී. එම ක්‍රියාදාමය “අනිද්දා” කතෘ මතු කරන තර්ක ගණනාවකට ද අනියම් ලෙස පිළිතුරු දීමක්ද සිදු කරයි. එයින් ලංකාවේ අපටද උගත හැකි වැදගත් පාඩම් ගණනාවක්ම තිබේ. ජනාධිපති අලන්දේ හා ෆැබ්ලෝ නෙරූඩා නිසා චිලිය ලංකාවේ ජනතාවගේ ද උනන්දුවට හේතුවූ රටක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ ජේ.ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථාව මෙන් එහි තිබෙන්නේද ෆිනෝචේගේ කාලයේ දී 1980 දී හදාගත් 15 වතාවක් සංශෝධනය කරනු ලැබූ ව්‍යවස්ථාවකි.
චිලී රටේ ජනතාව සමස්ථ ක්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීමට හේතුවන ව්‍යවස්ථා සම්පාදනයක් ඉල්ලා 2019 ඔක්තෝබර් 25 වනදා සන්තියාගෝ නගරයට එකතුවී බලවත් උද්ගෝෂණයක් යෙදුනි. එම අවස්ථාවට මිනිසුන් ලක්ෂ 12 ක් සහභාගී වූ බව වාර්තා වේ. එතැන් සිට චිලී රට පාරේ කෙරෙන මහජන උද්ඝෝෂණ වලින් ගිගුම් දෙන රටක් බවට පත් විය. එහිදී ව්‍යවස්ථා සම්පාදනයට අදාලව ජනතාව ඉදිරිපත් කල තවත් වැදගත් ඉල්ලීමක් වූයේ මහජනයා ඉල්ලා සිටින්නේ කෙබදු වෙනසක්ද යන්න දැන ගැනීම සදහා ආණ්ඩුව ජනමත විචාරණයක් පැවැත් විය යුතු බවය. අවසනායේ ඒ සදහා 2020 ඔක්තෝබර් වලදී ජනමත විචාරණයක් පවත් වන ලදී. අළුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවට ලැබුන අනුමැතිය සීයට 78 කි. පාර්ලිමේන්තු නියෝජිතයින්ට වැඩි නියෝජනය ලබා දෙන ව්‍යවස්ථා සම්පාදක මණඩලයක් වෙනුවට මහජන නියොජිතයින්ට පමණක් සීමාවූ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් සදහා ලැබුන අනුමැතිය සියයට 79 කි. ඉන්පසු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට මහජන නියෝජිතයන් තෝරා ගැනීම සදහා 2021, මැයි 15, 16 දිනවල පැවති මැතිවරණයෙන් ලැබී තිබෙන ප්‍රතිඵල ද අපූරු බව කිවයුතුය. වැදගත්ම දේ තෙරී පත්වූ නියෝජිතයන්ගෙන් සීයට 49.5 ක් ම කාන්තාවන් වීමය. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක හරි අඩක් කාන්තාවන් වන ලෝකයේ පළමු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය එය වන්නේය. ඊළග වැදගත් දේ තේරී පත්වී සිටින නියෝජිතයන්ගෙන් සීයට 66 ක්ම ස්වාධීන පුද්ගලයන් බව වාර්තා වී තිබීමය. මැතිවරණ ජයග්‍රහනයක් නැතිව බලවත් මහජන උද්ඝෝෂන ව්‍යාපාරයකින් පවා ව්‍යවස්ථා සම්පාදනයක් දිනාගත හැකි බව චිලී අත්දැකීමෙන් හොදින් පෙන්නුම් කරයි. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි කර ගැනීමෙන් තොරව වුවද ව්‍යවස්ථා සම්පාදනයක යෙදිය හැකි බවද ඉන් පෙන්නුම් කරයි.
“මහජන” හෙවත් “සහභාගි” ව්‍යවස්ථා සම්පාදන මාදිලිය වර්තමානයේ ව්‍යවස්ථා සම්පාදනයේ යෙදෙන රටවල් යොදාගන්නා ජනප්‍රියම ව්‍යවස්ථා සම්පාදන මාදිලිය වුවද එය තවමත් තිබෙන්නේ නව සහභාගිත්ව ව්‍යුහයන් හා ආකෘතීන් ගැන තව දුරටත් අත්හදා බැලීම් වල යෙදෙන තත්වයකය. මහාචාර්‍ය විවියන් හාට් කියා තිබෙන ආකාරයට “සහභාගිත්ව ආකෘතීන් අත්හදා බලමින් පුරවැසියන් හට මෙම ක්‍රියා වලියේ මූලාරම්බය ලබා ගැනීමේ අවකාශය සලසමින් මහජනයාගේ දායකත්වය න්‍යාය පත්‍රය සැකසීම, අන්තර්ගතය හා අපරානුමැතිය යන ක්ෂේත්‍රයන්හී විහිදී යන අකාරයේ විවෘත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවාදයක් නිර්මාණය කිරීමේ උත්සහායක නිරත්වී සිටී.” ජාතියක් ව්‍යවස්ථා සම්පාදනයක යෙදෙන විට එම ජාතියේ මහජනයාට එම ව්‍යවස්ථා සම්පාදනයට සහභාගි වීමට තිබෙන හිමිකම නීතියෙන්ද පිලිගන්නා හිමි කමකි. ව්‍යවස්ථා සම්පාදනයකදී මහජනයාට එම හිමිකම ප්‍රශස්ත ලෙස පරිහරණය කිරීමට ඇති කර තිබෙන විදි විධාන වර්තමානයේ එම ව්‍යවස්ථා සම්පාදනයේ සුජාතභාවයේ තරම තීරණය කරන දර්ශකයක් ලෙස ක්‍රියා කරයි. අවසාන වශයෙන් මේ ක්‍රමයෙන් අපේක්ෂා කරන්නේ අඛණ්ඩ, විවෘත හා අදාල සියළු පාරශ්වයන් සහභාගි කාරගන්නා සංවාදයක් තුළ සියලු දෙනාට පිළිගත හැකි සියලු දෙනාගේ ගෞරවයට හේතුවන ව්‍යවස්ථාවක් ප්‍රජාතන්ත්‍රවාදි අකාරයට සාදාගැනීමය.
– ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්



