2020 වසරේ රුවන්වැලි මහාසෑය හි චූඩාමාණික්‍යය මාරු කිරීමේදී වටිනා මැණික් අතුරුදන් වූ බවට චෝදනා කරමින් ඒ පිළිබඳ සාධාරණ හා ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් භාරදී තිබේ.
මෙම පැමිණිල්ල භාරදීම සඳහා සිව් හෙළ බොදු පවුර සංවිධානය නියෝජනය කරමින් මලියදේව හිමි, ඉසුරුපුර සිද්ධාර්ථ හිමි සහ සිවිල් ක්‍රියාකාරී දුලාන් සේනාධීර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඔවුන් චෝදනා කළේ, 2020 වසරේ රුවන්වැලි මහාසෑයේ චූඩාමාණික්‍යය ඉවත් කර වෙනත් චූඩාමාණික්‍යයක් සවි කිරීමේදී පැරණි චූඩාමාණික්‍යයේ තිබූ ඉතා වටිනා මැණික් අතුරුදන් වූ බවයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේගම හේමරතන හිමි සහ විරංජිත් තාඹුගල මහතා ඇතුළු පිරිසකට එරෙහිව ස්වාධීන විමර්ශනයක් සිදුකර, වගකිවයුතු පුද්ගලයන් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියහ.
එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද පැමිණිලි ඉදිරිපත් කළද නිසි විමර්ශනයක් සිදු නොවූ බවට චෝදනා කළ ඔවුන්, වර්තමානයේ විශේෂ නිලධාරීන්ගේ කමිටුවක් පත්කර කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියහ.
මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පාර්ශ්වයන්ගෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර, චෝදනා අධිකරණයකින් ඔප්පු වී නොමැති බවද සඳහන් කළ යුතුය.


