ශ්රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අවසන් විස්සයි තරගය තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 03 කින් ජය ගැනිමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 209ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 206ක් රැස් කළා.
ඒ අනුව අවසන් තරගයේ දී ලකුණු 03ක ජයක් ඇෆ්ගනිස්ථානයට හිමිවුණා.
කෙසේ වෙතත් අවසන් විස්සයි විස්ස තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර සටන්කාමී ආකාරයෙන් ලකුණු 210ක ඉලක්කයක් හබා යෑමට ශ්රී ලංකා කණ්ඩායම කටයුතු කළා.
තරගයේ තීරණාත්මක අවසන් පන්දු වාරයේ සිව් වැනි පන්දුව සම්බන්ධයෙන් විනිසුරුවරයා ලබාදුන් තීරණය ගැන මෙහිදී ක්රිකට් විස්තර ප්රකාශයින් ඇතුළුව ප්රේක්ෂකයින් ද විවිධ අදහස් පළ කළේ එම පන්දුව බැලූ බැල්මට ඉහළ ගිය නිපන්දුවක් ලෙස සටහන් වී තිබීමෙන්.
ඒ වන විට පිතිකරණයේ යෙදුන කවිඳු මෙන්ඩිස් එම පන්දුව නිපන්දුවක් බව ඉල්ලා සිටියද විනිසුරුවරයා එම ඉල්ලීම ප්රතික්ෂේප කළා.
යම් හෙයකින් එම පන්දුව නිපන්දුවක් ලෙස නම් කළා නම් ශ්රී ලංකා කණ්ඩායම ට අතිරේක ලකුණක් සහ තවත් පන්දුවක් ලැබිය යුතුව තිබුණා.
අන්තර්ජාතික තරගයක දී මෙවැනි විනිසුරු තීරණයන් බලාපොරොත්තු විය නොහැකි බව එම තීරණය සම්බන්ධයෙන් තරගයෙන් අනතුරුව මාධ්යට අදහස් දක්වමින් ශ්රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග ප්රකාශ කළා.
තව මඳක් පන්දුව ඉහළ ගියේ නම්, පන්දුව පිතිකරුගේ හිසේ වදින බවත් එවැනි දෙයක් නොපෙනේ නම් එම විනිසුරුවරයා අන්තර්ජාතික විනිසුරු මට්ටමට නොගැළපෙන බවත් වනිඳු හසරංග මෙහිදී අවධාරණය කර සිටියා.
කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයට එරෙහි විස්සයි විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගත්තේ සත්කාරක ශ්රී ලංකාව යි.


