පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධ අධිකරණ නියෝගය අනුව එවක ජනාධිපතිවරයා විසින් පියවිය යුතු මූල්‍ය වන්දිය ගෙවීමට, ආධාර මුදල් එකතු කර ගැනීම සඳහා බැංකු ගිණුමක් පිහිටුවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු සූදානම් කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ඊට අදාළ අවසන් ලියකියවිලි ඉකුත්දා බැංකුව වෙත භාර දුන් බවයි. එහි නීතිමය ලිපිලේඛන සැකසීම වෙනුවෙන් දෙතුන් වතාවක්ම බැංකුව වෙත යාම් ඊම් කිරීමට තමන්ට සිදු වූ බව ඔහු පැවසුවා.
මාසයක පමණ කාලයක සිට මීට අදාළ කටයුතු සිදු කළද තවමත් එය විවෘත කරගැනීමට ඔහුට හැකියාව ලැබී නැහැ.
මේ පිළිබඳව කරුණු අනාවරණ වුණේ හිටපු ජනාධිපතිවරයා සමඟ ද ලයිෆ් ට්‍රැවලර් නාළිකාව කළ සම්මුඛ සාකාච්ඡාවක දී.
“ඒකට වඩා කැට හොල්ලන එක නම්බුකාරයි”
අරලිය සහල්, සුඛෝපභෝගී සංචාරක හෝටල් ඇතුළු ව්‍යාපාරික ජාලයක හිමිකරුවෙකු වන ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගෙන් මේ සඳහා මුදල සෘජුව ලබා ගත හැකි නොවේද යන්න අප මෙහිදී විමසා සිටියා.
එලෙස මෙය පියවීමට වඩා මෙලෙස ආධාර මුදල් එක් රැස් කරගෙන වන්දි ගෙවීම වඩාත් “නම්බුකාර” ක්‍රියාවක් බව හිටපු ජනාධිපතිවරයාගේ අදහසයි. මෙම ආධාර එකතු කිරීම සම්බන්ධව ද සමාජය තමන්ට පහර එල්ල කරනු ඇති බව ඔහු පවසනවා.
විධායක බලය සහිත පාලකයන් ලෙස, තමන් පත් කර යවන පුද්ගලයන් අතින් වෙන වැරදිවලට, වින්දිතයාට වන්දි ගෙවීමට යළි ජනතාවගෙන්ම ආධාර එකතු කිරීමේ සාධාරණත්වය, ලයිෆ් ට්‍රැවලර් මෙහිදී විමසා සිටියා.
ඊට ප්‍රතිචාර දක්වමින්, තමන් වරදක් කර නොමැති බව ඔහු යළිත් අවධාරණය කර සිටියා.
තමන් කර ඇති වරද නඩු තීන්දුවේ හෝ කොහේ හෝ සඳහන් වන්නේදැයි ඔහු විමසා සිටිනවා.
එවකට ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේනට ගෙවීමට නියමව ඇති වන්දි මුදල රුපියල් මිලියන සියයක්. මෙම නඩුවේදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින් වූ වන්දියක් ගෙවන ලෙස හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙසටත් නියම කෙරුණා. එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානී ධුර දැරූ සිසිර මෙන්ඩිස්ට ගෙවීමට ඇත්තේ රුපියල් මිලියන 10ක මුදලක් පමණයි.
මෙම පිරිසෙන් මුදල් එකතු කර ප්‍රහාරය හේතුවෙන් ඝාතනයට ලක් වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් රජය ගෙවිය යුතු බවටත් නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, බරපතළ තුවාල ලැබූ පුද්ගලයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ වන්දි ගෙවන ලෙසත් නියෝග කර තිබෙනවා
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපති සමඟ ද ලයිෆ් ට්‍රැවලර් කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින්


