හංසකගේ මව හැඬූ කඳුළින් කියයි
වරද පිළිගත් SI රිමාන්ඩ්
සිසුවා සැත්කම් 2කින් පසු කරාපිටිය දැඩිසත්කාරයට
තිහගොඩ උණුසුම් වෙයි

“පන්සලේ කඨින පෙරහරේ කාවඩි නටන්න මොනර පිහාටු හොයන්න ගියපු වෙලාවේ තමයි පුතාට වෙඩි වැදිලා තියෙන්නේ. කඨින පෙරහර පවත්වන්න තිබුණේ විසිනව වැනිදා. අනේ මගේ රත්තරන් පුතාට වෙඩි වැදිලා. මෙහෙම දේවල් වෙන්නේ අපේ දරුව මොන වැරැද්දක් කළාටද?”
තිහගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ අතින් වෙඩි වැදී තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන නායිම්බල කටුවන්තුඩව ප්‍රදේශයේ පදිංචි පී.බී. හරිෂ් හංසක දේෂාන් පුතුගේ මව හැඬූ කඳුළින් පැවසුවාය.
අනතුරට මුහුණ දුන් නායිම්බල විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි ශිෂ්‍යයකු වූ හරිෂ් හංසක දේෂාන් පසුගියදා (28) පස්වරුවේ තිහගොඩ පොලිස් වසමේ නායිම්බල මිදෙල්ලවල කන්දේපොළ මාර්ගයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මේ සිදුවීමට මුහුණදී තිබිණි.
හරිෂ් හංසක ඇතුළු සිසුන් පිරිස ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථය පොලිසිය මඟින් පරීක්ෂා කිරීමට යෑමේදී තිහගොඩ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ පිස්තෝලය ඔහුගේ අතින් ක්‍රියාත්මක වීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි හරිෂ් හංසක දේෂාන්ගේ හිසට බරපතළ තුවාල සිදුව ඇතැයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පරීක්ෂණ පවත්වන පොලිසිය පවසන පරිදි අදාළ සිදුවීම මෙලෙසය.
තිහගොඩ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් තිහගොඩ ත්‍රිරෝද රථයකින් වැටලීමකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී ත්‍රිරෝද රථයක් මාර්ගය පුරා ධාවනය කරනු දක්නට ලැබී ඇත. එය නවත්වන ලෙස අණ කොට ස්ථානාධිපතිවරයා ඔහුගේ රාජකාරි ගිනි අවිය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට සකසා එම ගිනි අවිය දික්කොට ත්‍රිරෝද රථයේ සිටි පිරිස පරීක්ෂා කිරීමට යෑමේදී ත්‍රිරෝදය නැවත ධාවන කොට ඇති අතර එය පසුපස පොලිසිය හඹාගොස් තිබේ. පලා යන ත්‍රිරෝද රථය නායිම්බල කන්දේපොළ මාර්ගයේදී වළක වැටී නතර වීමත් සමඟ නැවත පොලිස් නිලධාරීන් ගොස් පරීක්ෂා කිරීමේදී ස්ථානාධිපතිවරයා සිසුවාගේ හිසට එල්ල කරන ලද රාජකාරි ගිනි අවිය ඔහුගේ අතින් ක්‍රියාත්මක වී ඇත.
විවිධ කරුණු ගෙනහැර දක්වමින් පොලිසිය මඟින් එලෙස පැවසුවද ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි සිසුන් පවසන්නේ තමන් ගමන් කළ මාර්ගයේ කිසිම ස්ථානයකදී පොලිස් නිලධාරීන් නුදුටු බවත් තමන් මාර්ගය අයිනේ ත්‍රිරෝද රථය නවතා මොනර පිහාටු සෙවීමට ත්‍රිරෝද රථයෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේදී තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ මේ වෙඩි තැබීම කළ බවයි.

හරිෂ් හංසකට වෙඩි වැදීමෙන් පසු ගම්වාසීන් තිහගොඩ පොලිස් ස්ථානයට ගොස් සිදුවීම පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ කතාබහ කොට නැවත සාමකාමීව පිටව යන අවස්ථාවේදී පොලිස් ස්ථානය තුළ සිටි නිලධාරියකු එහි සිටි තරුණියකට බැටන් ප්‍රහාරයක් එල්ල කළේ යැයි පවසමින් උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර එහිදී ප්‍රදේශවාසීන් කළ පහර දීමකින් කඹුරුපිටිය පොලිස් ස්ථානයට අයත් පොලිස් ජීප් රථයකට අලාභහානි සිදුව තිබිණි.
වෙඩි වැදී තුවාල ලැබූ සිසුවා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ පසුවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවන ලද අතර සිසුවා දැඩිසත්කාර ඒකකට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
අදාළ සිදුවීමත් සමඟ වහා ක්‍රියාත්මක වු පොලිසිය සිද්ධියට මුල් වූ උප පොලිස් පරීක්ෂකවරයා වැඩ තහනමට ලක්කොට අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
ප්‍රදේශවාසීන් කියා සිටියේ මේ වෙඩි තැබීමෙන් අනතුරුව පරීක්ෂණ සිදු කිරීමටත් පෙර පොලිසිය මඟින් වෙඩි තැබීම කළ ස්ථානයේ තිබූ හිස් පතරොම් කොපු රැගෙන ගොස් ඇති බවත් සිදුවීමට සාධාරණ පරීක්ෂණයක් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය. මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන කරනු ලබන මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන මාතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව 29 වැනි දින උදෑසන මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කර පරීක්ෂාවක් සිදුකොට තිබේ. පසුව මිනීමැරීමට තැත් කිරීමේ චෝදනවා යටතේ උප පොලිස් පරීක්ෂකවරයා එදින සවස මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තමා අතින් වූ වරද පිළිගෙන ඇති අතර ඔහු නොවැම්බර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඔහු මාතර, ගාල්ල හා අඟුණුකොළපැලැස්ස යන බන්ධානාගාරවල හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයක රඳවන ලෙසත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා විසින් නියෝග කොට තිබේ. අදාළ වෙඩි තැබීම වූ ස්ථානයට 29 වැනි දින උදෑසන මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර කාර්යාලයේ නිලධාරීන් ද පැමිණ විමර්ශන කර ඇත.
ජයසිරි පේදුරුආරච්චි – ගන්දර සමූහ
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත


