|
ඕනෙවට වඩා ගැඹුරට යන්නැති ව සරළ ව ම කතාව පටන් ගමු.
කුරුන්දි විහාරයේ තියෙන වැදැගත්කම මොකක්ද?
මේ පුරාවිද්‍යාත්මක භූමියෙ අද වෙද්දි ඉතිරි වෙලා තියෙන නෂ්ටාවශේෂවලින් මේ සංකීර්ණය සියවස් ගණනාවක් පැරැණි බෞද්ධ විහාරයක් බව පැහැදිලි වෙනවා. මේ විහාරයත් නම් කීපයකින් ම හඳුන්වලා තිබෙන බව පේනවා. කුරුන්දි විහාරය, කුරුන්දිවේළු විහාරය, කුරුන්ද විහාරය, කුරුන්දාවශෝක විහාරය, කුරුන්දපාසාණ විහාරය, කුරුන්දපාසක විහාරය ආදි නම් උදාහරණ. වර්තමානයේ කුරුන්දම්මලේ, කුරුන්තනූර් වගේ නම්වලිනුත් මේ ප්‍රදේශය හඳුන්වන බව පෙනුනා. ඒ කාරණාව හැරුනා ම ලාංකිකයො වශයෙන් පොදුවේ වැදැගත්වන තවත් කාරණාවක් මේ විහාරයට සම්බන්ධ යි.පාලි පොත්වල සඳහන් වෙන විදියට සිංහල අට්ඨකථාවලින් එකක් වෙන ‘කුරුන්දි අට්ඨකථාව’ රචනා කළේ මේ විහාරයෙදි. මහා අට්ඨකථාව, මහා පච්චරිය අට්ඨකථාව, කුරුන්දි අට්ඨකථාව කියන පොත් තුන හෙළ අටුවා විදියට සමහරු අදහස් කරද්දි මේ පොත් තුනට අන්ධක අට්ඨකථාව සහ සංඛේප අට්ඨකථාව කියන පොත් දෙකත් සම්බන්ධ කරලා හෙළ අටුවා පහක් විදියට සමහරු අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. කොහොම නමුත් හෙළ අටුවා පහ යි කීවත්, තුන යි කීවත් ඔය අදහස් දෙක ඇතුළෙ ම කුරුන්දි අට්ඨකථාව තියෙනවා. ඒ නිසා කුරුන්දි අට්ඨකථාව ලංකාවෙ පැවැතුණු හෙළ අටුවාවලින් එකක් විදියට විශාල වැදැගත්කමක් දරනවා. බුද්ධඝෝෂ හාමුදුරුවො පාලි භාෂාවෙන් අට්ඨකථා රචනා කරද්දි පවා මේ හෙළ අටුවා භාවිතා කළා. නමුත් අද වෙද්දි මේ පොත් පහෙන් එකක් වත් විද්‍යමාන වෙන්නෙ නැහැ. කාටහරි දැනගන්න අවශ්‍ය නම් හෙළ අටුවා කියන්නෙ මොනා ද කියලත් කියන්නම්.
මිහිඳු හාමුදුරුවන් ගෙ ලංකාගමනයෙන් පස්සෙ ලංකාවෙ බෞද්ධ භික්ෂු ශාසනයක් ඇති වෙනවා. ඒ වගේ ම උන් වහන්සේ භාරතයේ ඉඳං වඩිද්දි මගධ භාෂාවෙන් තිබුණු අර්ථ කථා කටපාඩමින් ගෙනත් ලංකාවෙ දි භික්ෂූන් වහන්සේලාට ඉගැන්නුවා. මේ විදියට ඉගෙන ගත්ත ධර්ම කාරණා ලංකාවෙ ජීවත් වුණු දැන උගත් භික්ෂූන් වහන්සේලා පසු කාලයේ සිංහලෙන් පොත්වල ලිව්වා. ඒ ලියපුවා තම යි හෙළ අටුවා විදියට අපි හඳුන්වන්නෙ. ඇතැම් විද්වතුන්ට අනුව හෙළ අටුවා කියන්නේ ලංකාවෙ ලියැවුණු පැරැණි ම පොත්. කුරුන්දි විහාරයේ දි ලියපු හෙළ අටුවාව කුරුන්දි අට්ඨකථාව විදියට යි සඳහන් වෙන්නෙ.
‘කුරුන්දිවෙල්ලි විහාරො නාම අත්ථි තත්ථ කතත්තා කුරුන්දීති නාමං ජාතන්ති වදන්ති’
ආදි වශයෙන් මේ කාරණාව පාලි පොත්වල සඳහන් වෙලා තියෙනවා.
කුරුන්දි අට්ඨකථාවෙ තිබුණෙ මොනව ද?
කුරුන්දි අට්ඨකථාව අද වෙද්දි දකින්න හැකියාවක් නො ලැබෙන නිසා මේ පොතේ තිබුණු කාරණා මොන මොන අංශ ඔස්සේ විහිදිලා තිබුණ ද කියන එක පැහැදිලි නෑ. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තමන් ගේ අවබෝධය අනුව සඳහන් කරන විදියට මහා පච්චරී අට්ඨකථාව සහ කුරුන්දි අට්ඨකථාව ගැන සඳහන් වෙන එක ම පොත සමන්තපාසාදිකාව. සමන්තපාසාදිකාව කියන්නෙ විනය පිටකයට බුද්ධඝෝෂ හාමුදුරුවො කරපු අට්ඨකථාව. අදිකාරම් වැඩිදුරටත් සඳහන් කරන්නෙ මහා අට්ඨකථාවෙ තිබුණු විවරණවලට වඩා මහා පච්චරී අට්ඨකථාවේ සහ කුරුන්දි අට්ඨකථාවෙ විවරණවලට බුද්ධඝෝෂ හාමුදුරුවොත් වැඩි ගරුත්වයක් දක්වපු බව.මහාචාර්ය ගුණපාල මලලසේකර සඳහන් කරන්නෙ සමන්තපාසාදිකාවෙ නිතර නිතර කුරුන්දි අට්ඨකථාව ගැන සඳහන් වෙන නිසා එය ප්‍රධාන වශයෙන් විනය නීතිවලට අදාළ ව පවතින්නට ඇති කියලා. කුරුන්දි අට්ඨකථාවෙ පැහැදිලි කිරීම් වෙනත් අට්ඨකථාවල පැවැතුණු පැහැදිලි කිරීම්වලට වඩා වෙනස් වූ බවක් පෙනෙන බව යි මහාචාර්ය මලලසේකර වැඩි දුරටත් සඳහන් කරන්නෙ.
කුරුන්දි විහාරය ගැන සී. ඩබ්ලිව්. නිකලස් ගෙ සටහනකින් ම පටන් ගමු.“ඛල්ලාටනාග (ක්‍රි. පූ. 110-103) කුරුන්දාවසෝක විහාරය තැනවීය. කුරුන්දවුල්ලක නම් පිරිවෙණක් ද විය. කුරුන්දී අට්ඨකථාව සම්පාදනය කරන ලද්දේ කුරුන්දිවේලු විහාරයේ දී ය. කුරුන්දක ග්‍රාමය අට්ඨකථාවල සඳහන් ව තිබේ. කුරුන්ද විහාරය තනවන ලද්දේ I වන අග්ගබෝධි (571-604) විසින් බව කියා ඇත. (සිංහල වංසකථාවල එය හඳුන්වා ඇත්තේ කුරුඳු වැව නමිනි.) ඔහු මෙය අවට යොදුන් 3 ක් (හැ. 25-30) පමණ පළල් පොල්වත්තක් වවන ලද බව කියා තිබේ. IV අග්ගබෝධිගේ (667-683) ඇමතියෙක් කුරුන්දපිල්ලක විහාරයෙහි පාසාදයක් තැනුවේය. I වන විජයබාහු (1055-1110) කුරුන්දිය විහාරය යළි කරවීය. මේ සියලුම නම් එකම විහාරයකට වූ විවිධ නම් වීමට බොහෝ ඉඩ තිබේ. …
”වර්තමානයේ අපි හඳුනගන්න කුරුන්දන්මලෙයි පුරාවිද්‍යා ක්ෂේත්‍රය මුලතිව් දිස්ත්‍රික්කයේ නෙඩුන්කර්නි කොට්ඨාසයේ කුරුන්දන්කුලම් ආශ්‍රිත ව පිහිටලා තියෙනවා. මේ විහාරයට අයත් නටබුන් සහිත ප්‍රදේශය 1933 මැයි 12 දින අංක 7981 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනයකින් පුරාවිද්‍යා රක්ෂිතයක් බවට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. 1895 දි විතර J. P. Lewis සටහන් කරලා තියෙන විදියට පසු කාලීන ව දෙමළ වැසියන් කුරුන්තනූර්හි කෝවිලක් ඉදි කරපු බව පේනවා. 1980 වගේ කාලය වෙද්දිත් මේ ස්ථානයේ එ වැන්නක් තිබුණා ද කියන කාරණාව ගැන මට අවබෝධයක් නැහැ. නමුත් 1981 සැප්තැම්බර් 01 වැනි දා රාජ්‍ය සංස්ථා බෞද්ධ සමිති සම්මේලනයෙ ප්‍රධාන ලේකම් ‘පියසේන එස්. ජයවීර මහතා’ විසින් සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ‘ඊ. එල්. බී. හුරුල්‍ලේ අමාත්‍යවරයා’ වෙත යැවූ ලිපියක (පිටපත්: පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතා / සහකාර පුරාවිද්‍යා කොමසාරිස් එම්. එච්. සිරිසෝම මහතා / ප්‍රාදේශීය සහකාර පුරාවිද්‍යා කොමසාරිස්, අනුරාධපුර) මේ විදියෙ සඳහනක් තියෙනවා.“… මුලතිව් දිස්ත්‍රික්කයේ නෙඩුන්කර්නි කොට්ඨාශයේ, කුරන්දන්මලේ පිහිටි, අති පැරණි නෂ්ඨාවශේෂ ආරක්ෂා කිරීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ක්‍රමානුකූලව ලබා ගන්නා ලද අවසරය පරිදි, පුරාවිද්‍යා නිලධාරි මහතෙකුගේ ප්‍රයෝජනය සඳහා ද, මහා සංඝයා වහන්සේ නමකගේ වාසය කිරීම සඳහා ද, අර්ධ තාවකාලික ගොඩනැගිලි ඉදි කිරීමට අප සම්මේලනය ක්‍රියාකරගෙන යන කාලය ඇතුළත, එම පුරාවිද්‍යා රක්ෂිත භූමියට ඇතුළත් වූ ද්‍රවිඩ ජාතික පිරිසක් විසින් පැරණි ප්‍රතිමා ගෘහයේ ගල්කුළුණු මත දැව කඳන් යොදා වහලයක් ඉදිකොට, රටඋළු සෙවිලි කර, දේවාලයක් තනා ඇත. එම ප්‍රතිමා ගෘහය තුළ තිබුනු පද්මාසනය සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ පතුල් කොටස් අතුරුදහන්ව ඇති අතර, එය පිහිටා තිබූ ස්ථානයේ කොන්ක්‍රීට් ලෑල්ලක් ඉදිකොට, ඒ මත ත්‍රිශූලයක් සවි කොට, ත්‍රිශූලය ඉදිරිපිට පැරණි ගල් ආසනයක් තබා, ඒ මත පහන් කපුරු දල්වා, යූපස්ථම්භයක කොටසක් ලෙස සැළකිය හැකි ගල් ටැඹක් මත පොල් ගසා, ඒ තුලම ඔප මට්ටම් කරන ලද ගලින් ලිපක් බැඳ, ගිනි මොලවා තිබුනි.02. මෙම ස්ථානයට යාබදව තිබුනු නටබුන් චෛත්‍යයයේ ගර්භය හාරා, සමතලා කොට, ඒ මත ත්‍රිශූලයක් සවිකොට තිබේ. 03. අප සම්මේලනය විසින් ඔබතුමා වෙතින් 1980. 07. 30 දාතමින් කරන ලද ඉල්ලීමේ ප්‍රකාර, ඔබතුමාගේ 1980. 08. 21 දාතමින් යවන ලද ලිපියෙන්, පුරාවිද්‍යා කොමසාරිස්තුමා ක්‍රියා කර ගෙන යද්දී, මෙම විනාශය දැඩි අත්තනෝමතිකභාවය නිසා බලවත් හිතුවක්කාර කමකින් යුක්තව කර තිබේ. එම ක්‍රියාවට එරෙහිව මතභේද ඇතිකර නොගෙන, අප සතුවූත්, අප විසින් කළයුතු වූත්, සේවය අප්‍රමාදව කිරීමට පියවර ගැනීම මැනවැයි යෝජනා කරමි. …” මේ සම්පූර්ණ ලිපිය මම සටහන එක්ක පළ කරන්නම්. ලංකා ඉතිහාසයේ අතිශය වැදැගත් ස්ථානයක් කුරුන්දි විහාරයට හිමි යි.
මේ විහාරයෙ සැබෑ ඉතිහාසය සැඟැවෙනවට වත්, අනාගතයේ දී තවත් කෝවිලක් වශයෙන් මේ විහාරය හඳුනගන්න වත් පෞද්ගලිකව මගෙ නං කැමැත්තක් නෑ ReplyForward
අයිතිය – සකිල රාජකරුණා උපුටා ගැනීම – මුහුණු පොතින්
| |