පවතින විදේශ විනිමය අර්බුදය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගුවන් යානා ඉන්ධන ගෙන්වීම අපහසු වී ඇති හෙයින් පෞද්ගලික අංශයට ගුවන් ගුවන් යානා ඉන්ධන ගෙන්වීමට අවසර ලබා දිය යුතු බවට වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍ය මණ්ඩලයට කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
මෙරට ක්‍රියාත්මක ගුවන් සමාගම් සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා ගුවන් යානා ඉන්ධන ලබාගැනීමේ දී මතු වී ඇති දැඩි අර්බුදය පිළිබඳ පසුගියදා (24) ගුවන් සේවා සමාගම් හි නියෝජිතයන්
හා ලංකාවේ ඉන්ධන තොග ගබඩාකරුවන් සමඟ අමාත්‍යාංශයේ කළ සාකච්ඡාවකින් පසු තමන් මෙම කැබිනට් පත්‍රිකාව
පසුගිය සඳුදා (27) රැස් වූ අමාත්‍ය මංඩලයට ඉදිරිපත් කළ බවත්, ඒ සඳහා අමාත්‍ය මංඩලය අනුමැතිය ලබා දුන් බව අමාත්‍යවරයා ඊයේ (28) ගුවන් සේවා නියෝජිතයන් හා
ලංකාවේ ඉන්ධන තොග ගබඩාකරුවන් සමඟ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාව දි ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ගුවන් යානා ඉන්ධන ගබඩාකරණය දුර්වලවීම නිසා මේ වන විටත් සමහර ගුවන් සමාගම් සිය ගුවන් යානා ශ්‍රී ලංකාවට පියාසර කිරීම අඩු කර ඇතැයි ගුවන් සමාගම් නියෝජිතයෝ සිකුරාදා පැවති රැස්වීමේ දි පෙන්වා දුන්හ .
ඉන්ධන තොග ගබඩාකරුවන් එහි දි ප්‍රකාශ කළේ මෙරටට ගුවන් යානා ඉන්ධන ගෙන්වීමේ ඒකාධිකාරය ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බවත්, ගුවන් යානා ඉන්ධන ගෙන්වීමට, ගබඩා කිරීමට සහ අලෙවියට තම ආයතනවලට අවසර දෙන්නේ නම් එය ඉටු කිරීමට තමන්ට හැකියාව ඇති බවයි.ඒ සඳහා ඛනිජ තෙල් හා ගුවන් සේවා අණ පනත තුළ පවතින සීමා හා බාධක ඔවුන් පෙන්වා දුන් අතර, එ් පිළිබඳ අමාත්‍යවරයා සාකච්ඡාව අතරවාරයේදීම අදාල අමාත්‍යාංශ බලධාරීන් සමඟ දුරකථනයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. පවතින විදේශ විනිමය අර්බුදය තුළ මෙරටට පැමිණෙන ගුවන් යානා තවදුරටත් අඩු වුවහොත් මෙරට සංචාරක කර්මාන්තය,අපනයනය,විදෙස් ආයෝජන මෙන්ම ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා යන අයට එය තදින්ම බලපාන බැවින් පවතින නීතිරීති සංශෝධනය කර හෝ මෙම අවස්ථාව ජයගත යුතු බව අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේය. මෙම පනත් සංශෝධනය කිරීමට කාලයක් ගත වන හෙයින් එතෙක් කෙටි කාලයකට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස, අමාත්‍ය මණ්ඩලීය අනුමැතිය යටතේ පෞද්ගලික අංශයේ ඉන්ධන තොග ගබඩා කරුවන්ට ද ගුවන්යානා ඉන්ධන ගෙන්වීමට අවසරදීමට තමන් අමාත්‍ය මණ්ඩලයට කළ යෝජනාවට පසුගිය සඳුදා අනුමැතිය ලද බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙම කටයුත්තට උපරිම සහායදීමට ගුවන් සේවා අධිකාරියට ද ගුවන් සේවා සමාගමට ද අමාත්‍යවරයා මෙහි දී උපදෙස් දුන් අතර රේගුව,ඛණිජ තෙල් සංස්ථාව ඇතුළු සෙසු ආයතනවල ද සහාය ඊට ලබාදිය යුතු බවට
මෙම කැබිනට් පත්‍රිකාවෙන් විධිවිධාන සලසා ඇතැයි අමාත්‍යවරයා මෙහි දී ඉන්ධන තොග ගබඩාකරුවන්ට පෙන්වා දුන්නේය.
කටුනායක ගුවන් තොටුපොළ දෙවන පර්යන්තය ඉදි කිරීමේ නිරත ටායිසෙයි සමාගම ද ඉන්දන ලබා ගැනීමේ අර්බුදයට මුහුණ දී සිටින බැවින්,ඔවුන්ට ද ඉන්දන ලබාදීමට සහය වන ලෙස අමාත්‍යවරයා මෙහි දී ඉන්දන තොග ගබඩාකරුවන් ගෙන් ඉල්ලා සිටියේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී. එච් රුවන්චන්ද්‍ර මහතා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ,සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම , ඉන්ධන තොග ගබඩාකරුවන්ගේ නියෝජිතයන් එමිරේට්ස්,ශ්‍රී ලංකන්,ගුවන් සමාගම්වල නියෝජිතයන් ද ඛණිජ තෙල් සංස්ථාවේ නිලධාරිහු ද එක් වූහ


