මැතිවරණ කාලසීමාවකදී ඊට අදාළ ප්‍රචාරණ කටයුතු සඳහා විද්‍යුත් මාධ්‍ය, අසාධාරණ ලෙස ගාස්තු අය කරන බව නිරීක්ෂණය වී ඇතැයි සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර තිබෙනවා.ඒ, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉකුත් දා රැස් වූ අවස්ථාවේ දී. එලෙස විද්‍යුත් මාධ්‍ය සාධාරණ ගාස්තු අය නොකිරීම ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇතැයි අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා.එය බරපතල අසාධාරණයක් බව ඔහුගේ අදහසයි.
විද්‍යුත් මාධ්‍ය ආයතන 03 ක් මෙම කාරක සභාව ඉකුත්දා රැස් වූ අවස්ථාවේ දී සාක්ෂි ලබා දුන් අතර, එම්.ටී.වී සහ එම්.බී.සී මාධ්‍ය ජාලය නියෝජනය කරමින් පැමිණි එහි අධ්‍යක්ෂ අශෝක ඩයස් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට බලපාන මැතිවරණ නීතිවල ඒකමතික ස්වරූපයක් දක්නට නොමැති බවයි. එම නීති සංශෝධන සිදුකිරීමේදී මාධ්‍ය කර්මාන්තයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කළ යුතු බව හෙතෙම සඳහන් කළේය. මැතිවරණ දිනයට පෙර පැය 48 ක් වන නිහඬ කාල සීමාව තුළ පවා කේබල් සහ සැටලයිට් රූපවාහිනි නාලිකා බරපතල ලෙස මැතිවරණ නීති කඩකරන බවද අශෝක ඩයස් මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය. සිය මාධ්‍ය ජාලය තුළින් සියලු දේශපාලන පක්ෂ වලට සමාන අවස්ථා ලැබෙන පරිදි මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙන බවද ඔහු සඳහන් කළේය.ටෙල්ෂාන් මාධ්‍ය ජාලය වෙනුවෙන් කාරක සභාවේදී සාක්ෂි දුන් ටී.එන්.එල් ප්‍රවෘත්ති කළමණාකරු ටිරාන් කරන්නාගොඩ මහතා සඳහන් කළේ, මැතිවරණ දැන්වීම් සඳහා මාධ්‍ය ආයතන අයකරන මිල ගණන් අතර සමානතාවක් පැවතිය යුතු බවයි. පොදු එකඟතාවක් ලබා ගැනීම සඳහා සාකච්ජා පැවැත්වීම අත්‍යාවශ්‍ය බවද ඔහු කීවේය.වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වෙනුවෙන් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන් ප්‍රසන්න ජයනෙත්ති මහතා පැවසුවේ, සිය මාධ්‍ය ජාලය මැතිවරණ කාල සීමාව තුළදී දේශපාලන සංවාද සඳහා නොමිලයේ ගුවන් කාලය ලබා දෙන බවයි.
මැතිවරණ වාර්තාකරණයට අදාළව ජනමාධ්‍යවේදින් සඳහා අවම වශයෙන් ආචාරධර්ම පද්ධතියක් හෝ පැවතීම අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර,මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුද සභභාගි වූහ.ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව, මැතිවරණ කොමිෂන් සභාව සහ සීමා නිර්ණන කොමිෂන් සභාව යන ආයතනවල නිලධාරිහුද මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම ලබන මස 02 වැනිදා පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.


