Wednesday, April 15, 2026
Homeදේශීයපළාත් පාලන ආයතනයන්හි කාර්‍ය මණ්ඩල බඳවා ගැනීම්,වලට පොදුවේ පිළිගත් ක්‍රමවේදයක් - ...

පළාත් පාලන ආයතනයන්හි කාර්‍ය මණ්ඩල බඳවා ගැනීම්,වලට පොදුවේ පිළිගත් ක්‍රමවේදයක් – රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශ

පළාත් පාලන ආයතනයන්හි කාර්‍ය මණ්ඩල බඳවා ගැනීම්, දීමනා, වාහන භාවිතය ඇතුළු පරිපාලන කාරණා සඳහා පොදුවේ පිළිගත් ක්‍රමවේදයක් සකසන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පළාත් සභා සහ පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයට ඊයේ(09) දැනුම් දුන්නේය.

අදාළ පොදු ක්‍රමවේදය සකසා එය මාස 03 ක් ඇතුළත රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බව එම කාරක සභාව පළාත් සභා සහ පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතාට දැන්වීය.කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කාරක සභා රැස්වීමේදී කුරුණෑගල මහ නගර සභාවේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්‍ය සාධන පිළිබඳව පරීක්ෂා කිරීම සිදු විය.

ඇතැම් පළාත් පාලන ආයතනයන්හි පරිපාලන කටයුතු අවිධිමත් වන අතර, එය විධිමත් කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සැකසිය යුතු බව මෙම කාරක සභාවට සභභාගී වූ සාමාජික අමාත්‍යවරු ඇතුළු මන්ත්‍රීවරු කරුණු දක්වමින් පෙන්වා දුන්හ. එම වැඩපිළිවෙල සැකසීමේදී පළාත් පාලන ආයතනයන්හි කටයුතු පහසු කරන අයුරින් එය සිදු විය යුතු බවද ඔවුහු පැවසූහ.මේ අවස්ථාවට, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ, දයාසිරි ජයසේකර යන මහත්ම මහත්මීහුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන බී.වයි.ජි රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, අශෝක් අබේසිංහ, තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, කාදර් මස්තාන්, ආචාර්‍ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාහු පිරිසක් සභභාගි වූහ.

කුරුණෑගල මහ නගර සභාව වර්ග 04 ක පොලිසැක් කවර 221,173 ක් ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට පටහැනිව ව්‍යාජ ආයතනයකින් මිලදී ගෙන ඊට රුපියල් 6,520,089 ක් ගෙවා තිබීම සම්බන්ධව කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය. චෙක්පත ආයතනයේ නමට ලිවිය යුතු වුවද එය පුද්ගලයෙකුගේ නමට ලියා තිබීම පිළිබඳව කාරක සභාව ප්‍රශ්න කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් රේඛිය අමාත්‍යාංශය මට්ටමින් පරීක්ෂණයක් සිදුකර ඒ සම්බන්ධව වාර්තාවක් කඩිනමින් කාරක සභාවට යොමු කරන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයාට දැන්වීය. එම පරීක්ෂණ කමිටුව සඳහා ජාතික විගණන කාර්‍යාලයේ නියෝජනයක්ද ලබා ගන්නා ලෙස කාරක සභාව අමාත්‍යාංශයට දැන්වීය.

READ:   යූවාන් වෑන්ග් -5 චීන නෞකාව හම්බන්තොටට

පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු හා නගර සභාවට ආදායමක් ලබා ගත හැකි පොදු දේපලක් ලෙස පැවැති බුවනෙක හෝටලය පිහිටි ගොඩනැඟිල්ල නිසි අනුමැතියෙන් තොරව කඩා දැමීම හේතුවෙන් නිර්මාණය වූ නඩු කටයුතු සඳහා මේ වන විට නගර සභා අරමුදලින් රුපියල් 7,800,000 ක් වැය කර තිබීම සම්බන්ධයෙන් කාරක සභාව නගරාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය. එම මුදල වැය කිරීම වෙනුවෙන් අදාළ අනුමැතින් හිමිව ඇති බව නගරාධිපතිවරයා එම අවස්ථාවේදී කාරක සභාවට දැන්වීය. මෙම සිදුවීමට අදාළව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් එම කටයුතු අවසන් වූ පසු ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ජා කළ යුතු බවට කාරක සභාවේදී තීරණය විය.

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්