ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව සමස්ත ව්‍යවස්ථාමය පද්ධතිය පිළිබඳව පුළුල් අවධානයක් යොමු කළ යුතු බව මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර පවසයි.
ඇය පෙන්වා දෙන්නේ වර්තමානය වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය (Constitutionalism), ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කුමක්ද සහ රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයිද යන මූලික කරුණු සම්බන්ධයෙන් පවා සමාජය තුළ සැලකිය යුතු පටලැවිල්ලක් පවතින බවයි.
“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැහැ” යන අදහස අවධාරණය කරමින් ඇය පෙන්වා දෙන්නේ, රටේ පාලන ව්‍යුහය හා ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දිගුකාලීන සහ ස්ථාවර විසඳුමක් පිළිබඳව අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වෘත්තිකයන් ඇතුළු සිවිල් සමාජය දිගුකාලයක් පුරා මහජනතාවට බලපාන ජාතික වැදගත්කමකින් යුත් කරුණු සම්බන්ධයෙන් සිය හඬ අවදි කර ඇති බවද මහාචාර්යවරිය සඳහන් කළාය.
ඒ සඳහා උදාහරණයක් ලෙස ඇය කොවිඩ්-19 වසංගත සමය පෙන්වා දෙයි. එම කාලයේදී මහජන සෞඛ්‍යය ජාතික වැදගත්කමකින් යුත් ප්‍රධාන කරුණක් බවට පත්වීමත් සමඟ වෛද්‍ය වෘත්තිකයන් ඒ සම්බන්ධයෙන් සමාජය වෙනුවෙන් හඬ නැඟූ බව ඇය පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ද මහජනතාවට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට බලපාන වැදගත් කරුණු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී පෙරමුණ ගෙන කටයුතු කර ඇති බවද ඇය සඳහන් කළාය.
මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථාවාදය සහ රටේ පාලන ව්‍යුහය සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවකදීය.


