බොරැල්ල, අගෝස්තු 07 – බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ සිරකරුවන් 40 දෙනෙකු පමණ සම්බන්ධ වූ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර, මේ වන විට එය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලීසිය පවසයි.
වාර්තා වන ආකාරයට, රාත්‍රී 10.20ට පමණ බන්ධනාගාරයේ “E” වාට්ටුවේ රඳවා සිටි සිරකරුවන් පිරිසක් වාට්ටුවෙන් බලහත්කාරයෙන් පිටතට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සිරකරුවන් අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ගැටුමට මුල් වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
සිද්ධිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) වහාම බන්ධනාගාරය වෙත කැඳවා බාහිර ආරක්ෂාව දැඩි කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මේ වන විට නොසන්සුන් තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කර ඇති බවයි. බන්ධනාගාරයේ අභ්‍යන්තර ආරක්ෂාව බන්ධනාගාර නිලධාරීන් විසින් පවත්වාගෙන යන අතර, බාහිර ආරක්ෂාව සඳහා පොලීසිය සහ STF නිලධාරීන් තවදුරටත් රඳවා සිටී.
මෙම සිද්ධියෙන් කිසිදු සිරකරුවෙකු පලා ගොස් නොමැති බවත්, කිසිදු බරපතළ හානියක් පිළිබඳ වාර්තා වී නොමැති බවත් ආරක්ෂක අංශ සඳහන් කළේය.
පසුගිය සති කිහිපය තුළ මීගමුව සහ මහර ඇතුළු බන්ධනාගාර කිහිපයකද නොසන්සුන්කාරී සිදුවීම් වාර්තා වීමත් සමඟ දිවයිනේ ප්‍රධාන බන්ධනාගාරවල ආරක්ෂාව ශක්තිමත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මේ අතර, බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඇති වූ මෙම සිද්ධියට හේතු වූ නිශ්චිත කරුණු සම්බන්ධයෙන් පොලීසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


