චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) විසින් මෝටර් රථ ආරක්ෂාව ඉහළ නැංවීමේ අරමුණින් නව ජාතික ප්‍රමිතියක් හඳුන්වා දී ඇති අතර, ඒ අනුව වාහනවල ආරක්ෂාවට අත්‍යවශ්‍ය පාලන ක්‍රියාකාරකම් සඳහා භෞතික බොත්තම් හෝ ලීවර (physical buttons or controls) ලබාදීම අනිවාර්ය කිරීමට නියමිතය.
නව ප්‍රමිතිය 2027 ජූලි 1 සිට අලුතින් නිෂ්පාදනය කරන වාහන සඳහා ක්‍රියාත්මක වන අතර, රියදුරන්ට මාර්ගයෙන් දෑස් ඉවත් නොකර (“blind operation”) වාහනය පාලනය කළ හැකි වන පරිදි මෙම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම රෙගුලාසි යටතේ හැරවුම් සංඥා (turn signals), හදිසි අනතුරු සංඥා (hazard lights), නළාව (horn), ගියර් තේරීම (gear selector), වයිපර්, කවුළු පාලනය, හදිසි ඇමතුම් පද්ධතිය (Emergency Call System), විද්‍යුත් වාහන ක්‍රියාවිරහිත කිරීමේ ස්විචය සහ රියදුරු සහායක පද්ධතිය (ADAS) සක්‍රීය කිරීම වැනි ආරක්ෂාවට අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් ස්පර්ශක තිරයකට පමණක් සීමා කළ නොහැකි අතර ඒ සඳහා භෞතික පාලක තිබිය යුතුය.
පසුගිය වසර කිහිපය තුළ Tesla ඇතුළු චීනයේ සහ ලෝකයේ තවත් විද්‍යුත් වාහන නිෂ්පාදකයින් රැසක් වාහනවල භෞතික බොත්තම් සංඛ්‍යාව අඩු කර විශාල ස්පර්ශක තිර මත වැඩි වශයෙන් රඳා පැවති නමුත්, මෙම නව නීතිය කිසිදු එක් සමාගමක් ඉලක්ක කර නොගෙන, චීන වෙළෙඳපොළ සඳහා නිෂ්පාදනය වන සියලුම අදාළ වාහන සඳහා අදාළ වන ජාතික ආරක්ෂක ප්‍රමිතියකි.
මෙයට පෙරද චීනය විසින් හදිසි අවස්ථාවලදී ගලවා ගැනීමේ කටයුතු පහසු කිරීමේ අරමුණින් සඟවා ඇති (hidden) වාහන දොර හැඬල සඳහාද නව ආරක්ෂක නීති හඳුන්වා දී තිබුණි. මෙම පියවර මගින් මෝටර් රථ සැලසුම් කිරීමේදී අලංකාරත්වයට වඩා ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම චීනයේ අරමුණ බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මුලාශ්‍ර
- China’s Ministry of Industry and Information Technology (MIIT) – GB4094 ජාතික ප්‍රමිතිය සංශෝධනය.
- Reuters – චීනයේ වාහන ආරක්ෂක ප්‍රමිතීන් සහ hidden door handles සම්බන්ධ නව රෙගුලාසි.


