Monday, October 27, 2025
Homeවිශේෂාංගකවුද මේ, රටම කතා කරන රෝහිණී කුමාරි විජේරත්න ?

කවුද මේ, රටම කතා කරන රෝහිණී කුමාරි විජේරත්න ?

නම – ජම්බුගහපිටියේගෙදර රෝහිණී කුමාරි විජේරත්න

උපන්දිනය – 1971- 12- 12

ගම – මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, පල්ලේගම

ඔබව කවිරත්න කියන නමිනුත් හඳුන්වනවා…
මගේ ස්වාමිපුරුෂයා සංජීව කවිරත්න. ඔහු මාතලේ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රී සහ පාර්ලිමේන්තු මන්ත්‍රී.

අධ්‍යාපනික පසුබිම –
ප්‍රාථමික අධ්‍යාපනය – ලග්ගල, පල්ලේගම ප්‍රාථමික මධ්‍ය මහා විද්‍යාලය, ශ්‍රී සංඝමිත්තා බාලිකා පාසල, මහනුවර ස්වර්ණමාලි බාලිකා පාසල
ද්වීතීයික අධ්‍යාපනය – මහනුවර උසස් බාලිකා පාසල, විශාකා විද්‍යාලය

ඔබේ පවුලේ තොරතුරු කිව්වොත්..

මගේ පවුලේ ගැහැනු ළමයි පස්දෙනයි. මම හතර වෙනියා. මගේ වැඩිමහල් සහෝදරිය විවාහ වෙලා ඉන්නේ පළාත් සභා මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායකත් එක්ක. මගේ දෙවෙනි සහෝදරිය විවාහ වෙලා ඉන්නේ ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි සමඟ. තුන්වෙනි සහෝදරිය ඔසී අබේගුණසේකරගේ බාල සහෝදරයා ලක්සෙන් අබේගුණසේකරත් එක්කයි විවාහ වෙලා ඉන්නේ. බාල සහෝදරිය ව්‍යාපාරිකයෙක් වන කමල් හේරත් එක්ක විවාහ වෙලා ඉන්නේ. පවුලේ වැඩිදෙනෙක් දේශපාලනයට සම්බන්ධ අය එක්කයි සම්බන්ධ වෙලා ඉන්නේ.

මගේ පවුලේ දැන් ඉන්නේ මමයි දරුවෝ දෙන්නයි. පුතා කනිෂ්ක කවිරත්න. දුව ලක්නා කවිරත්න. ඒ දෙන්නම උපාධි හදාරනවා.

රෝහිණී කුමාරි විජේරත්න සිය දරුවන් සමග
දේශපාලනයට පිවිසෙන්නේ කොහොමද?

මගේ පියා හිටපු කෘෂි නිෂ්පාදන අලෙවි ඇමති 1977- 1994 යුගයේ. ඒ වගේම ලග්ගල ආසන සංවිධායකවරයා සහ යග්ගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඊට පස්සේ ඔහු ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍යවරයාත් වුණා. මගේ අම්මගේ අප්පච්චි 1965- 1970 කාලේ ලග්ගල මන්ත්‍රීවරයා. මම විවාහ වෙන්නේ සංජීව කවිරත්න එක්ක. මා එක්ක විවාහ වෙනකොට ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙක්. එයාගේ තාත්තාත් 1977- 1994 කාලෙ රත්තොට ආසනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ සංස්කෘතික ඒකාබද්ධතා ඇමතිවරයා. මගේ පවුල් පසුබිමේම දේශපාලනයට උනන්දුවක් තිබුණා.

ඔබ කිවුවා ඔබේ ස්වාමිපුරුෂයාගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූවේ ඔබ කියලා. කාන්තාවන්ට දේශපාලනය පිළිබඳ දැනුමක් නැහැ; සාක්ෂරතාවයක් නැහැ; දේශපාලන කැම්පේන් එකක් මෙහෙයවා ගන්න හැකියාවක් නැහැ කියන කතාවට හොඳ උදාහරණයක් ඔබ?

ඔව්, සම්පූර්ණයෙන්ම බොරුවක්. මොකද අනිත් අය කෝටි ගණන් වියදම් කරනකොට 2013 දී පැවැත්වුණු මහත්තයාගේ අන්තිම ඡන්දයේදී මම වියදම් කළේ ලක්ෂ දාහතයි. මගේ ඡන්දෙට වියදම් කළේ ලක්ෂ තිස්පහයි.

ඔබ දේශපාලනයට පැමිණීමෙන් මූලිකවම අපේක්ෂා කළේ මොකක්ද?

කාලයක් අපිත් එක්ක හිටපු ලොකු පිරිසක් හිටියා. මහත්තයාගේ අභාවයෙන් පස්සේ ඒ අය අතරමං වෙන ගතියක් පෙනුනා. විශේෂයෙන් ස්වාමීන් වහන්සේලාගෙන් මම දේශපාලනයට එන්න ඕන කියල ලොකු ඉල්ලීමක් ආවා. ඒත් එක්කම ජනතාවගෙන් ලොකු ඉල්ලීමක් ආවා මම දේශපාලනයට එන්න ඕන කියල. මම මහත්තයා නැති වෙලා කඳුළුයි බතුයි කකා හිටපු ගෑනි.

ඇත්තටම මට ඕනවෙලා තිබුණේ ළමයි දෙන්නට උගන්නගෙන රස්සාවත් කරගෙන පැත්තකට වෙලා ඉන්නයි. ඒත් මම දේශපාලනයට එයි කියන අදහස උඩ මගේ මහත්තයාගේ හත් දවසේ දානෙ දුන්න වෙලාවෙ ඉඳලාම මට වට කරල පහර ගහන්න ගත්තා. පක්ෂ විපක්ෂ දෙපැත්තෙන්ම ඒක සිද්ධ වුණා. දේශපාලනයට එනවද එනවද කියලා අහද්දී මම හරියට වචනයක් දුන්නෙ නැහැ. නමුත් මට වඩා දේශපාලන ඉවක් ඒගොල්ලන්ට තියෙනවනේ. ඒ නිසයි මට පහර ගැහුවේ. ඒකට අභියෝගයක් විදිහට තමයි මම වැඩිපුරම දේශපාලනයට ආවේ. මමත් හිතුවා මට මෙහෙම ගහන්නේ මොකක් හරි තියෙන හින්දානේ කියලා. එහෙමනම් හොඳයි මම කරල පෙන්නන්නම් කියන තැනට ඇවිත් රෑ තිස්සේ අඬ අඬා කොහොම හරි මේ ගමන ගියා.

ඒ වගේම ලග්ගල කියන්නේ තනිකරම මගේ නෑදෑයෝ පරපුරක් ඉන්න ප්‍රදේශයක්. මගේ අම්මත් ලග්ගල, අප්පච්චිත් ලග්ගල. රත්තොට තමයි මගේ ස්වාමියාගේ ප්‍රදේශය. මේ සියලුම තත්ත්වයන් නිසා මට යම් ශක්‍යයතාවක් (Capacity) තියෙනවා කියල මට පහර දීපු අයට හිතෙන්න ඇති.

ඔබට අනුව පිරිසිදු දේශපාලනඥයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ටද?

පිරිසිදු දේශපාලනඥයන් ඉන්න ඕන ජනතාවගේ පැත්තේ. යමක් කරනවා නම්
මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ඕන. දේශපාලනඥයෙක් වුණාට පස්සේ තමන්ට ඡන්දය දුන් නොදුන් සියල්ලන්ම එයාට එක හා සමාන වෙන්න ඕන. මම ගමට ගිය වෙලාවටත් කියන්නේ ආයෙ ඊළඟ ඡන්දයේදී ඔයාලා පාට ගාගන්න, නමුත් දැන් පක්ෂය අතාරින්න, අම්මට දරුවෝ වගේ, පාසලේ ගුරුවරියට පන්තියේ ඉන්න ළමයි ටික වගේ දැන් මට ඔයාල ඔක්කොම එකයි කියලයි. මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදලින් අපිට වෙන් කරල දෙන ඒවා තමයි ජනතාව වෙනුවෙන් ප්‍රතිපාදන කියල අපි ආපහු වියදම් කරන්නේ. ඒව මගේ ගෙදර, මගේ බැංකු ගිණුමෙන් අරන් දෙන ඒවා නෙවෙයි. එතකොට පාටක් පක්ෂයක් බලල මිනිස්සුන්ට වැඩ කරන්න බැහැ. පිරිසිදු දේශපාලනඥයෙක් කියන්නේ තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන්ට එහා ගිහිල්ලා මිනිස්සුන්ගේ පැත්තේ ඉන්න කෙනෙක්.

ඔබ හිතන විදිහට මහජන නියෝජිතයා කියන වචනයේ අර්ථය මොකක්ද?

ඒක පිරිසිදු දේශපාලනඥයාටත් වඩා ටිකක් එහාට ගිය දෙයක්. එයා මහජනයාව නියෝජනය කරමින් ඔවුන්ගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවට හෝ ප්‍රශ්නය විසඳන්න පුළුවන් තැනකට අරන් යන කෙනෙක්.

ඡන්දයේදී ඔබේ අනුග්‍රාහකයන් සහ අරමුදල් සපයන්නන් කවුද? ඔවුන් පෙරළා ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?

මේක මම දේශපාලනික වශයෙන් ඍජුවම දායක වෙන මගේ පළවෙනි අත්දැකීම. මීට කලින් මම මගේ ස්වාමිපුරුෂයාගේ, පියාගේ සහ මාමාගේ දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුණේ වක්‍රව. මට ඡන්දයේදී අරමුදල් දෙන අය බොහොම අඩුයි. අහිංසක මිනිස්සු තමයි මට රුපියල් දාහ දෙදාහ පවා ගෙනල්ලා දුන්නේ. මට වියදම් කරන්න සල්ලි නැහැ. ස්වාමිපුරුෂයා නැති වුණාම ජිවත් වෙන්න යම් මුදලක් තිබුණා. ඒත් මට තේරුණා ඡන්දයේදී යම් මුදලක් අවශ්‍යයි කියලා. මම මගේ ළඟ තිබුණ වටිනාම ඉඩම විකුණලා තමයි දරුවෝ දෙන්නගේ අධ්‍යාපනයටයි, දේශපාලන කටයුතුවලටයි ගිය ඡන්දයේදී වියදම් කළේ. ඊට අමතරව මට සාමාන්‍ය මිනිස්සු තමයි ගොඩක් උදව් කළේ. ඒගොල්ලන්ගේ ගම්වල යම් යම් දේවල් සහ රැකියා බලාපොරොත්තු වෙනවා මිසක් තාම මගෙන් පෞද්ගලිකව කිසිම දෙයක් බලාපොරොත්තු වෙලා නැහැ. අර කොන්ත්‍රාත් එක දෙන්න, මේ කොන්ත්‍රාත් එක දෙන්න කියල මගෙන් තාම නම් කවුරුවත් ඉල්ලලා නැහැ.

ඔබේ ආධාරකරුවන් සහ ආධාරකාරියන් මොන වගේ අයද?

මට ඉන්නේ බොහොම බිම් මට්ටමේ ආධාරකරුවන්. දළ ඇත්තු නෙවෙයි. බොහොම අහිංසක දුප්පත් ජනතාව තමයි මාව මෙතනට ගෙනාවේ. ඒ වගේම මගෙන් ඉගෙන ගත්ත ගෝලයෝ මා වටා හිටියා. ඒක මට ලොකු හයියක් වුණා. මගේ සේවා කාලය අවුරුදු 20ක්. ඒ අවුරුදු 20 ඇතුළතදී මගෙන් ඉගෙන ගත්ත දරුවෝ ස්වේච්ඡාවෙන් ඇවිත්, පක්ෂ භේදයක් නැතුව මට වැඩ කළා. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්තොට ආසනයේ බොහෝ පිරිසක් මට ඡන්දේ දෙන්න ඕන නිසාම අලියා ඉස්සරහා කතිරේ ගැහුවා.

ඔබෙන් ඉගෙනගත්ත තරුණ තරුණියන් ඔබට සහාය පළ කිරීමේදී මොනවද පෙරළා බලාපොරොත්තු වුණේ?

READ:   මතුගම කන්දෙහේනේ අභිනවයෙන් ඉදි කල පුංචි ශ්‍රී පාදය බැතිමතුන්ට විවෘත කෙරේ.

ඒ වෙලාවෙ නම් එයාලගේ බලපොරොත්තුව වෙන්න ඇත්තේ තමන්ට උගන්වපු ගුරුවරිය මෙවැනි තැනකට යවන්න ඕන කියන එක කියල මම හිතනවා. ඊට අමතරවත් තරුණ පරම්පරාව බලාපොරොත්තු වෙන්නේ රැකියාවල්. ඒ ප්‍රශ්නෙ තියෙනවා. මගේ ලග්ගල ආසනය බොහොම දුෂ්කර පළාතක්. ලංකාවේ තියෙන දේශගුණික කලාප පහම තියෙනවා එහි. දුෂ්කර ශුෂ්ක පළාත් වගේම බොහොම තෙත් සහ ඒ අතරමැද තත්ත්වයේ පළාත් ද තියෙනවා. රැකියාවලට යන්න බැරි පිරිස් ඉන්නවා, එයාලා ඉඩම් බලාපොරොත්තු වෙනවා වවන්න. ඒ වගේ පුංචි ඉල්ලීම් ගොඩක් එක්ක තමයි කැරකෙන්නේ. කොන්ත්‍රාත් වගේ ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. එහෙම ඉන්නවා නම් අතළොස්සක් ඇත්තේ. අනිත් එක තමයි එයාලගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න කියන එක. අවුරුදු ගණනක් පුරා පක්ෂ විපක්ෂ දෙපැත්තෙන්ම ලග්ගලට මන්ත්‍රී කෙනෙක් හිටියේ නැහැ. හිටිය සමහර මහජන නියෝජිතයෝ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ. ආසනේට යන්නේ නැහැ. ඡන්ද කිට්ටු වෙලා ගිහින් අරක්කුයි සල්ලියි බෙදලා එනවා. දැන් මිනිස්සුන්ට “අපිට මොනව නැතත් ඇහුම්කන් දෙන්න කෙනෙක් ඉන්නවා” කියන එක තියෙනවා. අපේ රටේ ගම්බද මිනිස්සු හරි අහිංසකයි. ඒ වගේ පුංචි ඉල්ලීම් ටිකක් තමයි එයාලට තියෙන්නේ.

දේශපාලනඥයන් වත්කම් බැරකම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ගැන මොකක්ද ඔබේ අදහස?

වත්කම් බැරකම් ප්‍රකාශ කරන්න බය වෙන්න ඕන කියල මම හිතන්නේ නැහැ.
පිරිමි කෙනෙක් නෙවෙයි කාන්තාවකට වුණත් චණ්ඩිකම නැතුව ඡන්දෙ දිනන්න අමාරුයි කියන මතය ගැන ඔබ මොකද හිතන්නේ?

මම ඡන්දෙ දින්නෙ නම් චණ්ඩිකමින් නෙවෙයි. සංවේදීව මිනිස්සුන්ගේ හදවතට කතා කරලයි මම ඡන්දෙ දිනුවේ. ඊට පස්සෙත් මිනිස්සුන්ගේ හදවතේ ජිවත් වීම තමයි වැදගත් වෙන්නේ. නමුත් සමහර වෙලාවට මිනිස්සු මට කියනවා “මැඩම් සැර මදි” කියල. නමුත් අපිට ඕන මේ සමාජ ක්‍රමයෙ වෙනසක් නේ. ගලාගෙන යන ක්‍රමයටම යනවා නම් අපි දේශපාලනයට ඇවිත් වැඩක් නැහැ කියන තැනයි මම ඉන්නේ. අපි දැන් උඩුගම් බලා පීනන්න ඕන. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. මම හැමදාම කියපු දෙයක් තමයි මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන කියලා. කොහොමද මිනිස්සු පිරිසිදු දේශපාලනඥයෙක්ව තෝරගන්නේ? චණ්ඩි පාට්වලටද? අරක්කු බෙදනවටද? සල්ලි බෙදනවටද? ඡන්දෙ කිට්ටු වෙලා බඩු මල්ලක් බෙදනවටද? බොරු පොරොන්දු ගොඩක් දෙනවටද? එහෙම නැත්නම් ජනතාව එක්ක ඉඳලා, එයාලා එක්ක අනුගත වෙලා, එයාලගේ ප්‍රශ්න තේරුම් අරගෙන ඔවුන් වෙනුවෙන් පෙනී හිටපු කෙනාවද තෝරාගන්න ඕන කියන තැන දක්වා මිනිස්සුන්ගේ ආකල්ප වර්ධනයක් ඇති වෙන්න ඕන කියන තැනයි මම ඉන්නේ.

පිරිසිදු දේශපාලනයට සමාජයේ ඉල්ලුමක් තියෙනවාද?

තියෙනවා. නමුත් තවමත් මිනිස්සු රැල්ලට යන ගතියක් දකිනවා මම. මාතලේ දිස්ත්‍රික්කය ගත්තොත් පක්ෂ විපක්ෂ දෙකේම වැඩිම ඡන්ද අරන් තියෙන්නේ කොහොම අයද? ලංකාවෙම අරන් බැලුවත් එහෙමයි. අපි ප්‍රසිද්ධියේ එපා කියන මිනිස්සු පාර්ලිමේන්තු ඇවිත් නැද්ද? මංකොල්ලකාරයෝ, එතනෝල්කාරයෝ, ගණිකා ව්‍යාපාර කරන අය, සූදු කරන අය, වංචා දූෂණවලට අහුවෙලා ඉන්න අය ඉන්නවා. කවුද මෙයාලව පාර්ලිමේන්තු එව්වේ. සාමාන්‍ය මිනිස්සුනෙ එව්වේ. එහෙම නම් මේකෙ වැඩි වගකීමක් තියෙනවා ඡන්ද දායකයාට.

දේශපාලනඥයෝ මොන විදිහට රැඟුවත් අර පඩංගුව අස්සේ කතිරේ ගහනකොට මේ රටේ ඡන්ද දායකයා හිතන්න ඕන මේ රටට වැදගත් අලුතින් දෙයක් කරන්න පුළුවන් කාටද? මේ එන මිනිහා එන්නේ රට වෙනුවෙන්ද තමන් වෙනුවෙන් ද කියන එක අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයක් අපි ඇති කරන්න ඕන. ඒ සඳහා මාර්තු 12 ව්‍යාපාරය වැදගත්. නමුත් එය තව මීට වඩා ගම් මට්ටමට බිම් මට්ටමට යන්න ඕන. එහෙම වුණොත් අපිට තැනක් තියේවි.

දේශපාලනඥයෙකුට අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුයි කියන කාරණය ගැන ඔබේ අදහස මොකක්ද?

මම හිතනවා උපාධිධාරියෙක් කියන කෙනා බුද්ධිමතෙක්ම නෙවෙයි. එයා උගතෙක්. උගතා සහ බුද්ධිමතා දෙන්නෙක්. හැම උපාධිධාරියාම බුද්ධිමතෙකුත් නෙවෙයි, හැම මනුස්සයාම නූගතෙකුත් නෙවෙයි. ඒක මෙතනටත් අදාළයි. හැම උගතාම නායකත්වයට සුදුසු නැහැ. හැම නායකයෙක්ම උගතෙකුත් නෙවෙයි. අපේ ඉතිහාසේ ඉඳන් ගත්තම ඩී. එස් සේනානායක කියන්නේ මේ රට ආපස්සට හරවපු කෙනානේ. එයා උපාධිධාරියෙක් නෙවෙයිනේ.

ඊට පස්සේ හිටපු උගත් යැයි කියාගත් පිරිස් රට කරවපු විදිහ බලන්න. අපේ ගම්මට්ටමේ ඉන්න සමහර නායකයන්ට හොඳ නායකත්ව ලක්ෂණ තියෙනවා. නමුත් ඒ අය උපාධිධාරී උගතුන් නෙවෙයි. අත්දැකීම් සහිතයි. නායකත්වයේ තියෙන එක ලක්ෂණයක් බුද්ධිමත් බව. තැනට සුදුසු විදිහට, කාලයට සුදුසු විදිහට තීරණ ගත යුතු අය වෙන්න ඕන. හැබැයි උගත්කමත් යම් කිසි සුදුසුකමක් වෙනවා.

ඔබ ජාති ආගම් අතරේ වෛරය සහ අසමගිය ඇති කරන ආකාරයේ ප්‍රකාශ හෝ හැසිරීම්වල යෙදෙන දේශපාලනය අනුමත කරනවද?

නැහැ, මම දැඩි ලෙස විරුද්ධයි ආගම් ජාතීන් අනුව පාසල් වුණත් වෙන් වෙනවට. එක යුනිවර්සිටි එකේ ඇවිත් හැමෝටම එකට ඉගෙනගන්න පුළුවන් නම් ඇයි එක ඉස්කෝලේ ඇවිත් ඉගෙනගන්න බැරි? ඒ වගේම ආගම්, ජාතීන් අනුව වෙන් වෙලා පක්ෂ තියෙනවටත් මම විරුද්ධයි. ඒක වෙනස් වෙන්න ඕන කියල මම හිතනවා. රටේ හැම ආගමක්ම හැම ජාතියක්ම නියෝජනය වෙන ආකාරයේ සංයුතියක් හැම පක්ෂයකම හදන්න ඕන. ජාති ආගම් මුල්කරගෙන හදන පක්ෂ මේ රටේ තියෙනකම් ජාතිවාදය, ආගම්වාදය කියන එකත් තියෙනවා.

උතුරේ දෙමළ ජනතාව, වතුකරයේ දෙමළ ජනතාව හෝ නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව දකුණේ ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් විසින් නියෝජනය කරන්නේ නැහැ. එතකොට ඒ අයගේ ඉල්ලීම් සහ ඒ අයගේ අවශ්‍යතාවයන් නියෝජනය කරන්න ඔවුන්ගේ ජාතිකත්වයන් පුමුඛ කරගත් දේශපාලන පක්ෂ අවශ්‍යයයි නේද?

එහෙම නැහැ. දැනට ප්‍රධාන දේශපාලන පක්ෂ තුන වන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂ තුනේ ඒ සෑම ජනකොටසක්ම නියෝජනය වන සේ සංයුතියක් සෑදිය යුතුයි. යාපනේ ගත්තොත් වැඩිපුර ඉන්නේ ද්‍රවිඩ ජනතාව. එතකොට එහෙන් පාර්ලිමේන්තුවට එන්නේ ද්‍රවිඩ ජනතාවනේ. එතකොට ඒ අය ඒ අයගේ ජනතාව නියෝජනය කරන්නේ නැද්ද? නැගෙනහිර පැත්තට ගියොත් මුස්ලිම්, දෙමළ, සිංහල අය ඉන්නවා. එතකොට ඒ ඒ සංයුතියට අනුව අපේක්ෂකයෝ එන්න ඕන. එහෙම නොවෙන තාක්කල් ප්‍රජාව නියෝජනය කිරීම කෙසේ වෙතත් වාසිය බලාගෙන අනිත් පැත්තේ ගිහින් වාඩි වෙන බව අපි දන්නවනේ.

ආසියාවේම ගත්තත් දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තාවන් අඩුම රටක් ලංකාව. අපේ රටේ දේශපාලනයේ කාන්තා නියෝජනය අඩුවීමට හේතුව මොකක්ද?

ඒක අපේ රටේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච දෙයක්. අපේ කාන්තාවන් තුළ තාම තියෙන්නේ දරුවෝ හදාගෙන ගෙදර ඉන්න ඕන කියන මතය. අපේ කාන්තාවෝ තමන්ගේ රාජකාරිය විදිහට ඉස්සර ඉඳලම දැක්කේ, පුරුදු වුණේ ස්වාමිපුරුෂයා ගෙනත් දෙන දේ දරුවන්ට හදලා දීලා, ඒ දරුවන්ව ලොකු මහත් කරල රැක බලා ගන්න එකයි. කාන්තාව රැකියාවට යන්න ගත්තට පස්සෙ ඒක පොඞ්ඩක් වෙනස් වුණා. ගෘහණිය කියන වචනෙ හැදුණු විදිහ දන්නවනේ. මිනිස්සු ඉස්සෙල්ලාම ගහේ හිටියා; ගහ ගුහාව වුණා; ගුහාව ගෘහය වුණා; ගෘහය කරවන්නී ගෘහණි වුණා. ඒ මානසිකත්වයෙන් තමයි කාන්තාවෝ අදටත් ඉන්නේ. අද යම් පොඩි ප්‍රමාණයක් එතනින් එහාට ගිහින් තියෙනවා. එයින් යම් ආකල්පමය වෙනසක් වුණා. නමුත් ඊට එහා පිම්මක් පැනලා මේ සංස්කෘතිය කියන එක කඩාගෙන ඉස්සරහට ආපු කෙනා තමයි දේශපාලනයට ඇවිල්ලා ඉන්නේ. එයාට ලොකු පීඩනයක් සහ අභියෝගයක් බාහිර සමාජයෙන් තියෙනවා. මඩගහනවා, චරිතය ඝාතනය කරනවා. කොච්චර හොඳ චරිතයක් තිබුණා වුණත් දේශපාලනයට එනවා කිවුව ගමන් එයාව වට්ටන්න කරන්න පුළුවන් පළවෙනි දේ තමයි චරිතය ඝාතනය කරන එක. ඒක දරාගන්න පුළුවන් නම් එළියට එන්න. කාන්තාවෝ දේශපාලනයට එන්න ඕන. මොකද කාන්තාවන් ඉන්න තැන දූෂණ වංචා ආදිය සිදුවෙනවා බොහොම අඩුයි.

READ:   අජිත් රෝහණ ඇතුළු පොලිස් ලොක්කන් 07කට ස්ථාන මාරු..

එතකොට කවුරු හරි තර්කයක් ගෙනෙයි “එතකොට ජයලලිතා” කියල? නමුත් අපේ රට තාම එතනට ගිහිල්ලා නැහැ.

ඔබ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශයක් නියෝජනය කරන කාන්තා නායිකාවක්. ලංකාවේ ග්‍රාමීය කාන්තාවගේ ආර්ථික හා සංස්කෘතික වටාපිටාව ගැන ඔබේ අදහස මොකක්ද?

අපේ රටේ කාන්තාවන්ට ප්‍රශ්න තියෙනවා. ඒක ගම් ඇතුළට ගිහින් බලන්න ඕන. අපි හිතනවා අද අපේ බොහෝ කාන්තාවන් රට යන්නේ බොහෝ වෙලාවට ආර්ථීක හිඟකම නිසා කියලා. ඒක එහෙමම නෙවෙයි. තමන්ගේ බීමත් ස්වාමිපුරුෂයාගෙන් බේරෙන්නත් රට අත්ඇරල යන කාන්තාවො ගම්වල ඉන්නවා. ඒක ප්‍රමාණාත්මකව පොඩි වෙන්න පුළුවන්.

නමුත් ඒක යම් තත්ත්වයක් නිසා හටගත් ප්‍රතිඵලයක්. පාසල් ගුරුවරියක් විදිහට මම පසුගිය අවුරුදු 20 ඇතුළතදී දෙමව්පියෝ දාහක් එක්ක හරි පෞද්ගලිකව සම්බන්ධ වෙලා ඇති. ඒක තුළ මම දැකපු දේවල්, මාත් එක්ක අඬ අඬා කියල තියෙන කතන්දර එක්ක කාන්තාවෝ දැඩි පීඩනයක ඉන්න බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඔවුන් ගෘහස්ත හිංසනයට ලක්වෙනවා. මේ රටේ සෑම තලයකම කාන්තාවන්ට ලොකු අසාධාරණකම් සිද්ධවෙනවා. ඔෆිස් එකක් අරන් බලන්න. කාන්තාවක් වැඩක් කරගන්න කාර්යාලයීය නිළධාරියෙක් ළඟට ගියත් ඒත් පීඩනයට ලක්වෙනවා. කාන්තාවන් පීඩාවට ලක්වෙන්නේ පුරුෂයන්ගෙන් විතරක් නෙවෙයි. බොහෝ තැන්වල කාන්තාවන්ට විනිවිද පෙනෙන වැස්මක් (Glass Ceiling) තියෙනවා. අපිට එයින් එහා ඇති කඩඉම් පේනවා. ඒත් අර වැස්ම බිඳගෙන ඉදිරියට යන්න බැහැ විවිධ හේතු නිසා. අමාරුවෙන් වුවත් කාන්තාවො ඒක බිඳලා දාන්න ඕන. නායකත්ව ලක්ෂණ තියෙන කාන්තාවන් බොහෝ පිරිසක් ගම්වල ඉන්නවා. ගම්වලට ගියාම මම දකිනවා සමිතිවල වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ. එයාලා තමයි ඒ සාමූහික ක්‍රියාකාරකම් ඇදගෙන යන්නේ.

කාන්තාවක් ජීවත් විය යුත්තේ කෙසේදැයි යන්න ගැන ලංකාවේ පැවති සාම්ප්‍රදායික සමාජ කියවීම දැන් විශාල ලෙස පරිවර්තනය වෙමින් තියෙන්නේ. නමුත් කාන්තාවන් දේශපාලනයට පිවිසීමේදී ඒ නව ප්‍රවණතාව ඒ ලෙසින්ම දකින්න බැහැ. මේ තත්ත්වය වඩා සාධනීය මට්ටමකට ගෙන ඒමට ඔබේ පක්ෂය මොන වගේ උත්සාහයක්ද දරන්නේ?

225ක් වන පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් 13යි කාන්තාවෝ ඉන්නේ. මම ළඟදී දැක්කා අයෝමය කාන්තාව තෝරන තරගයට අයදුම්පත් 13ක් දාලා තිබිලා, ඒත් තරගෙට ඇවිත් තියෙන්නෙ එක්කෙනයි. අපේ කාන්තාවො සංස්කෘතිය කියන මේ අමාරු අසීරු කඩඉම, මේ වළල්ල පනින්න ඕන. ඒ සඳහා කාන්තාවන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපේ පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නාමයෝජනා දෙනකොට 25%ක කාන්තා නියෝජනය අනිවාර්යයි කියලා ගෙනත් තියෙන්නේ.

කාන්තාවන්ට 25% ක කෝටාවක් අනිවාර්ය කිරීමත් එක්කම සුදුසු, ධනාත්මක හා සක්‍රීය දායකත්වයක් දිය හැකි, පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ගරු කරන කාන්තාවන් සොයාගෙන ඔවුන් සවිබලගැන්වීමේ අභියෝගය පැන නඟිනවා. ඒ සඳහා කිසියම් යාන්ත්‍රණයක් ඔබට තියෙනවද?

ඔව්, මට එවැනි වැඩපිළිවෙලක් තියෙනවා. මේ වනවිට කාන්තාවන්ට නායකත්ව
පුහුණු වැඩසටහන් මම කරගෙන යනවා. ඒ වගේම, විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශ්‍රමය මේ රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න දායක කරගන්න වැඩපිළිවෙලක් මම ක්‍රියාත්මක කරල තියෙනවා. හැමෝටම පාර්ලිමේන්තු එන්න බැහැනේ. හැමෝටම පළාත් සභාවට හෝ ප්‍රාදේශීය සභාවට යන්නත් බැහැ. නමුත් ගමේ නායකත්වය ගන්න එකත් වටිනවා. ඒකට කාන්තාවන් ආර්ථික වශයෙනුත් ශක්තිමත් කරන්න ඕන. ඒ සඳහා මගේම ආසනයේ කාන්තාවන් එක්ක පවුල් දසදහසක් සවිබලගැන්වීමේ වැඩසටහනක් අපනයන සංවර්ධන මණ්ඩලයත් එකතු කරගෙන මම මේ වෙන කොට ක්‍රියාත්මක කරනවා. එහි තුන්වන වටය අගෝස්තු මාසේ පළවෙනි සතියේ ක්‍රියාත්මක කරනවා. මේ වෙනකොට අපි කාන්තා නායිකාවන් හඳුනාගෙන ඒ අය වටා කණ්ඩායම් හදලා තියෙනවා. අපි අපනයනකරුවෝ හඳුනාගෙන ඒ අය ඉල්ලන දේ අපි මෙහේ හදල දෙනවා. එතකොට නිෂ්පාදන අහක යන්නෙ නැහැ, වෙළඳපොළ තියෙනවා. නැත්නම් මෙච්චර කාලයක් ස්වයං රැකියා කරල කාන්තාවෝ ණය අරගෙන ලෝකෙට ණය වුණා විතරයි. මේ වෙනකොට තවත් ආයතන ගණනාවක් අපිට සහයෝගය දක්වන්න කැමැත්ත දීලා තියෙනවා. තවත් ඒ විදිහේ අපනයනකරුවෝ ඉන්නවා නම් අපි සමග සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරනවා. අපේ ගම්බිම්වල කරන්න පුළුවන් දේවල් මොනවද කියල අපිට කියන්න. අපි ඒක කරල දෙනවා. සාධාරණ විදිහට ඒ නිෂ්පාදන ඒ අයගෙන් මිලදී ගන්න.

මොන වගේ නිෂ්පාදන වලටද ඔබේ ප්‍රදේශයේ ඉඩකඩ තියෙන්නේ?

ලෝකෙ ලොකුම වෙළඳපොළ ඉල්ලුම තියෙන කුරුඳු වැවෙන්නේ අපේ රටේ මධ්‍යම කලාපයේ. මේ කලාපයේ තියෙන කුරුඳුවල තමයි සැර වැඩියි කියන්නේ. ඒ නිසා අපි කුරුඳු හදනවා. ඒ වගේම පැපොල් සහ දෙහි වවනවා. මොකද අපිට යග්ගල ප්‍රදේශයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වල් අලි. වල් අලි සඳහා දැනට සූර්යකෝෂ ශක්තියෙන් ක්‍රියාත්මක වෙන විදුලි වැටක් තියෙන්නේ. වැස්ස කාලෙදි ඒකෙ කරන්ට් එක අඩු වෙනවා. අලි කියන්නේ හරි බුද්ධිමත් සත්තු ජාතියක් නිසා එයාලා ගස් ගෙනල්ලා වැට උඩට පෙරළලා ඒකට උඩින් පැනලා එනවා. ඒත් අලි හරි බයයිලු කටු සහිත ගස්වලට සහ මීමැස්සන්ට. ඒ නිසා මම යෝජනාවක් ගෙනාවා අලි වැටට විකල්පයක් වෙනුවට දෙහි හදමු කියලා ජීව වැට විදිහට. රජයට ලොකු වියදමක් යනවා විදුලි වැටට. ඒ වගේම අලි ප්‍රශ්නයට තවත් විසඳුමක් විදිහට මීමැසි පාලනයත් පටන් ගන්නවා. ඊට අමතරව අපි මුරුංගා හදනවා. මුරුංගා කොළවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මුරුංගා කොළවලින් එන පෝෂණය වෙන කිසි දෙයකින් ගන්න බැහැ.

විදේශිකයෝ තේ වලට ඒව පාවිච්චි කරනවා. අපි කොච්චර දිර්ඝකාලීන බෝග දැම්මත් ලංකාවෙ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ක්‍ෂණික සල්ලි. ඒ නිසා කෙටි කාලීන බෝග විදිහට ඉඟුරු, සේර, කහ, කව්පි, මුං ඇට, තල වගේ දේවල් වගා කරනවා. ඒවා දවස් හතළිස් පහයි, මාස තුනයි, ඉක්මණින් හැදෙනවා. ඒ බෝග හැදෙන අතරතුරේ TJC කියන හොඳ වෙළඳපොළක් තියෙන විශාල අඹ වර්ගය අපි වවනවා. මේ වගේ ලොකු ව්‍යාපෘතියක් දැනට ක්‍රිියාත්මකයි. එහෙම වුණොත් අපේ කාන්තාවන්ගේ අත ටිකක් ශක්තිමත් වෙනවා.

READ:    ‘රුවිතේ විඳගන්න - එක්වෙන්න’ - ජය ශ්‍රී

දේශපාලනයේදී සිවිල් සමාජ සංවිධාන සමග නිරන්තර ගනුදෙනුවක් සිදු කිරීමට සිදු වෙනවා. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සිවිල් සමාජ සංවිධාන කරන මැදිහත් වීම ගැන මොකද හිතන්නේ?

ඒ ගොල්ලන්ගේ මැදිහත් වීම අවශ්‍යයමයි. අපි දන්නවා මේ යහපාලන රජය බලයට ගේන්න සිවිල් සමාජ සංවිධාන ලොකු කාර්යභාරයක් කළා. ඒ නිසා සිවිල් සමාජ සංවිධානවල මැදිහත් වීම අවශ්‍යයයි. නමුත් ඒ හැමෝම සද්භාවයෙන් කටයුතු කරන්න ඕන. අපි දන්නවා සිවිල් සමාජ සංවිධාන බොහොමයකට ආධාර ලැබෙන්නේ වෙනත් රටවල්වලින්. ඒ නිසා සිවිල් සමාජ සංවිධාන තමන්ගේ ආර්ථික වාසි පමණක් නෙවෙයි බැලිය යුත්තේ.

දේශපාලනඥයෝ වගේම ඔවුනුත් ජනතාවට වගවිය යුතුයි. කොහොම වුණත් මේ රටේ දිශානතිය වෙනස් කරන්න ඔවුන්ගේ දායකත්වය අත්‍යවශ්‍යයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ගැන ඔබේ අදහස මොකක්ද?

ඇත්තටම දැන් වෙනසක් තියෙනවා. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වෙන්න ප්‍රධානම හේතුව පටු දේශපාලන වාසි. අද මාධ්‍යය කොච්චර නිදහසක් භුක්ති විඳිනවද? වෙන එකක් ඕන නැහැ රාජ්‍ය නාට්‍යය උළෙලේ මීට කලින් බෝඞ් අරන් ස්ටේජ් එකට නගින්න පුළුවන් වුණාද? එදා කවුරුහරි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අත්වින්දොත් සුදු වෑන් එකකින් ගෙනිච්චා කියන්න තමයි වෙන්නේ. මම කියන්නේ නැහැ සියයට සීයක්ම අපි දැන් ඒ තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා කියලා. නමුත් ඉදිරියට එන්න තියෙන අණ පනත් එක්ක, විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනතත් එක්ක මේ රටේ අයිතිවාසිකම් පැත්තෙන් විශාල පෙරළියක් සිදු වෙන්න නියමිතයි.

ජාතික ප්‍රශ්නය අපි අවුරුදු ගණනාවක් තිස්සේ අත්දකින ඛේදවාචකයක්. ජාතීන් අතර සංහිඳියාව ඇතිකරමින් ඒ ප්‍රශ්නය විසඳන්න සාධනීය පියවර මේ රජයෙන් අරන් තියෙනවා කියල ඔබ හිතනවද?

ඔව්, මේ වෙනකොට ජාතීන් අතර සංහිඳියාවක් ඇති කරන්න වැඩපිළිවෙළක් තියෙනවා. උතුරටයි දකුණටයි කියල වෙනසක් නැහැ. පහුගිය දිනක යාපනය විශ්වවිද්‍යාලයේ උඩරට නැටුමක් නැටුවා කියල ගැටුමක් ඇති වුණා. පෙරේදා මාතලේ කතරගම දේවාලයේ තේරු උත්සවය. ඒකට මමත් දිගම්බරන් ඇමතිතුමත් සහභාගි වුණා. ඒ තේරු උත්සවේ ඉස්සෙල්ලාම ගියේ උඩරට නැටුම්. ඊට පස්සෙ තමයි එයාලගේ සංස්කෘතියට අදාළ නැටුම් ගියේ. හරිම ලස්සනයි. අන්න ඒ තැනට අපේ රට එන්න ඕන. මේක අපි උතුරටත් ගෙනියන්න ඕන. මම එතනදි කිවුවා මේකනේ වෙන්න ඕන කියලා. මාතලෙත් ද්‍රවිඩ ජනතාව ඉන්නවා. එහෙනම් අපි තේරුව අදින්න නොදී ඉන්න ඕන.

මාර්තු 12 ව්‍යාපාරයට ඔබ සම්බන්ධ වුණේ ඇයි?

අද මේ රටේ දේශපාලනඥයෝ යන දිශානතිය වැරදියි. දේශපාලනය කරද්දි ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන කෙනෙක් විදිහට පිරිසිදු දේශපාලනඥයෝ අපට අවශ්‍යයයි කියලා මට හිතුණා. බෙදන ටී ෂර්ට්, තොප්පි, අරක්කු, වාහන ප්‍රමාණයට අපේ ජනතාව රැල්ලට යනවා. අරක්කු සහ මුදල් එක්ක කරන දේශපාලනයට පෞද්ගලිකව මුහුණ දෙන කෙනෙක් මම. ඒ තුළ මම හිතුවා මේක වෙනස් කරන්න හදන ව්‍යාපාරයක් තමයි මාර්තු 12 ව්‍යාපාරය කියලා. ඒ නිසා මේකට එකතු වෙන්න ඕන කියන හැඟීම තමයි මට තිබුණේ.

අනාගතයේදී මාර්තු 12 ව්‍යාපාරය හරහා පිරිසිදු දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් සමාජයට යම් බලපෑමක් කරන්න පුළුවන් මොන විදිහටද?

සමාජයට බලපෑමක් කරන්න නම් යන්න ඕන බිම් මට්ටමට. මේක උඩ ඉඳන් පහළට එන්න ඕන එකක් නෙවෙයි. පහළ වෙනස් කළොත් උඩ වෙනස් වෙයි. දේශපාලනඥයා කියන ගහ හැදෙන්නේ ඡන්දදායකයා කියන මුල් ටිකෙන්. ඡන්දදායකයා කියන මුල් ටික මේ ගහ පෝෂණය නොකළොත් මේ ගහ මැරෙනවා. ඒ අය ඡන්දය දුන්නොත් තමයි මේ අය පාර්ලිමේන්තුවට හෝ දේශපාලනයට එන්නේ. අපි ඡන්දදායකයාගේ බුද්ධිකලම්බනයක් කළ යුතුයි මෙන්න මෙහෙම අය තමයි පාර්ලිමේන්තුවට හෝ දේශපාලනයට ගන්න ඕන කියල. කවුරු හරි මොනවා හරි පගාවල් දීගෙන එනවා නම් ඒගොල්ලෝ අයින් කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි රජයේ නිලධාරීන් සම්බන්ධයෙනුත් ජනතාව අවදිවෙන්න ඕන. එතනදි සාමාන්‍ය මිනිස්සු බයයි රජයේ නිලධාරීන්ට එරෙහිව කතා කරන්න. පහුගිය දවසක මම කරපු කතාවක් නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු මාත් එක්ක තරහාවෙලා. මම එතනදි පැහැදිලිවම කිවුවේ “මහජන සේවකයෝ වගේම රජයේ සේවකයොත් ජනතාවගෙන් පඩි ලබන මිනිස්සු හැටියට පාට කණ්ණාඩි ගලවලා වැඩ කරන්න ඕන” කියලයි. ඒකෙ වැරැද්දක් තියෙනවද? දැන් ඔය ඉන්න ප්‍රාදේශීය ලේකම් මහත්වරුන්ට සහතිකයක් දෙන්න පුළුවන්ද ගමේ ඉන්න සමෘද්ධි නියාමකවරයා මධ්‍යස්ථව වැඩ කරනවා කියල. කෘෂි පර්යේෂණ නිලධාරී නැතිනම් ගොවි නියාමකයා ස්වාධීනව පක්ෂ භේදයක් නැතුව වැඩ කරනවා කියල කියන්න පුළුවන්ද? ග්‍රාම සේවක ගැන එහෙම සහතිකයක් දෙන්න පුළුවන්ද? මොකද පහුගිය කාලේ මේ චරිත තුන කියන්නේ දේශපාලන චරිත. අපි කාටවත් ඒක නැහැ කියන්න බැහැ. රජයේ ප්‍රචාරක යාන්ත්‍රණය බිම් මට්ටමේ ඇදගෙන ගියේ මේ තුන්දෙනානේ. මේ තුන් දෙනා මැරිලා ඉපදුණාද? අපි ගම් ඇතුළේ වෙන දේ දකින නිසා තමයි එහෙම කතා කළේ. සමහර ප්‍රාදේශීය ලේකම්වරු පහුගිය කාලේ හිටපු මන්ත්‍රීවරු විසින් පත් කරපු අය. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ළඟදියි පත් කළේ. ඒ වනතෙක් දේශපාලන පත්වීම් තමයි කොහොමත් තිබුණේ. ඒ අය තමයි තාමත් වැඩ කරන්නේ. ඒ නිසා අපිට හරි අමාරුයි ගම්වල වැඩ කරන්න. මෙවැනි අතළොස්සක් වන පිරිසගෙන් අපි ප්‍රතිපත්ති හදලා ගෙනිච්චත් ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සහයෝගය ලැබෙන්නේ නැහැ බිම් මට්ටමේදී. ඒ නිසයි මම කියන්නේ පාට කණ්ණාඩි ගලවලා මිනිස්සු වෙනුවෙන් අපි වැඩ කරමු කියල.

දේශපාලන සංස්කෘතියේ සාධනීය වෙනසක් කරන්න ඔබට දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද?

මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායක ඔස්සේ අපි ගමන් කරනවා නම් මේ රටේ දේශපාලනඥයා කියන කෙනාව වෙනස් කරන්න පුළුවන්. දේශපාලනඥයා පමණක් නෙවෙයි මේ සඳහා රජයේ නිලධාරින්වත් අනුගත කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. දේශපාලනය කිරීම කියන්නේ ජනතාවට සේවය කිරීම නම් ඒක රජයේ සේවකයාටත් අදාළයි. මේ දෙගොල්ලන්ම බිම් මට්ටමට බැහැලා පෞද්ගලික අරමුණු නැතිව ජනතාවට සේවය කරන්න ඕන කියන හැඟීම එයාලගේ පපුවට එන්න ඕන. අපි කවුරු කොහොම කියුවත් අපේ රට තියෙන තැන හරි ඛේදනීයයි. සදාචාරාත්මක පැත්තෙන් ගත්තත් ආර්ථිකය අතින් ගත්තත් පහුගිය කාලේ පුරාවට හිටපු හැම නායකයෙක්ම ඒකට වගකියන්න ඕන. යම් යම් අයගේ අත අස්සෙන් රිංගලා ගියපු දේවල් නිසා අපේ රට මේ තැනට වැටිලා තියෙනවා. දැන් අපි එකාවන්ව එකතු වෙලා මේ රට ගොඩගන්න ඕන. එහෙම වැඩ කළොත් තව අවුරුදු දහයකින් පහකින් අපේ රට හොඳ තැනකට ගන්න පුළුවන්. ඒක දේශපාලකයන්ට විතරක්ම කරන්න බැහැ. රාජ්‍ය නිළධාරීනුත් පුරවැසියනුත් එකතු වෙන්න ඕන. එවැනි වෙනසකට බිම් මට්ටමේ ආකල්ප වෙනස් කිරීමක් අනිවාර්යයෙන්ම කරන්න ඕන.

සංවාදයේ යෙදුණේ – මාර්තු 12 ව්‍යාපාරය වෙනුවෙන් මෙහෙයුම් කමිටු සාමාජිකා මනෝරි කලුගම්පිටිය

RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්