පාසල්වලට අවශ්‍ය යටිතල පහසුකම් සපයමින් නව පාසල් දහසකට නව සන්නිවේදන පහසුකමක් වූ ෆයිබර් ඔප්ටික් (Fiber Optic Connection) හා අවශ්‍ය පරිදි විදුලිබල පහසුකම් ලබා දීමට ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
එම පහසුකම් ලබා දී පාසල් පද්ධතියේ මෙන් ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ද වෘත්තීය නැඹුරුවකින් යුත් පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වන මාස තුනක පමණ කාලයේ දී අභිමත වෘත්තීය පාඨමාලාවක් පාසල තුළ දී ම හැදෑරීමේ අවස්ථාව දීපව්‍යාප්ත මට්ටමින් සිසුන්ට හිමි කර දීමට ඉදිරියේ දී අපේක්ෂා කරන බවත් එමගින් උසස් පෙළ හැදෑරුවත් නැතත් සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් සිසුන්ට ලද හැකි බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.
විදෙස්ගත ව පවතින පුහුණු ශ්‍රම ඉල්ලුමට සරිලන පුහුණුවක් ලබා දිය හැකි පරිදි දිවයින පුරා පිහිටුවා ඇති මධ්‍යස්ථානවලින් පාඨමාලා හැදෑරීමේ දී එහි කාලය අඩු කරගැනීමට ද පාසලේ දී මූලික ව ලබන මෙම වෘත්තීය පුහුණු පාඨමාලා කාලය ඉවහල් කරගත හැකි බව ඔහු පවසනවා.
තෘතීය අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණක් නොව පාසල් පද්ධතිය තුළින් ද නිපුණතා සපිරි තරුණ පිරිසක් රටට දායාද කළ යුතු අතර ඒ සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය මුසු කරගත් කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් හා ගැළපූ නව ඉගැන්නුම් ක්‍රමවේද හඳුන්වා දෙමින් දැනුම යාවත්කාලීන ගුරු පුහුණු අවස්ථා සහිත ව පුළුල් වෙනසක් කරා වේගයෙන් ගමන් කළ යුතුව පවතින බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.


