Friday, March 29, 2024
Homeදේශීයඅමරණීය ගායක නෙවිල් ප්‍රනාන්දු

අමරණීය ගායක නෙවිල් ප්‍රනාන්දු

A tribute to the late legend Neville Fernando
ෂාමලින් පෙරේරා විසින් ය.

අපෙන් වෙන්ව ගිය ඥාති නෙවිල් ෆනෑන්ඩු ගායකයාගේ 86 වන ජන්ම දිනය වෙනුවෙන් පිදෙන උපහාරයකි.
Mihindukulasuriya Weerasinghe John Antony Neville Fernando
උපත : 1937 පෙබරවාරි 5 විපත : 1975 අප්‍රේල් 23
ආයු කාලය : අවුරුදු 38 යි මාස 2 යි දින 18 යි

නෙවිල් ප්‍රනාන්දු ගායකයාගේ පියා හලාවත පිටිපන වීදියේ උපන් මිහිඳුකුලසූරිය වීරසිංහ වෝල්ටර් ඇන්තනි ප්‍රනාන්දු ‍ය. සංගීතයට ඉතා දක්ෂය. ලංකාවේ සිටි දක්ෂතම වයලින් වාදකයාය. ගීත ගායනයේද සමතෙකි. Philharmonic Society ( Conductors of Symphony Ochestras ) හි සාමාජිකයෙකි. ඔහුගේ මව මීගමුව මහා වීදියේ මේරි මැක්‍යුලාය. ඒ පව්ලද ගී ගායනයේ හපන්නුය.
නෙවිල් හලාවත ඉපදුණත්, පසුව මුලු පව්ලම මීගමුවේ පදිංචියට ගොස් ඇත. මගේ මවගේ මංගල ඡායාරූපයේ මල් කුමරිය නෙවිල්ගේ වැඩිමහල් සොයුරිය ක්‍රිස්ටීන් ‍ය.
නෙවිල්ගේ පව්ල හා අපේ පව්ල අතර සුවිශේෂ සම්බන්ධතාවයක් විය. ඒ ඔහුගේ පියපස සීයා මිහිඳුකුලසූරිය වීරසිංහ පීටර් ජෝන් ප්‍රනාන්දු ( කොළඹ හා පුත්තලම කච්චේරිවල
ප්‍රධාන ලිපිකරු ) මගේ ආච්චි ඇග්නස්ගේ පියා මිහිඳුකුලසූරිය වීරසිංහ ලෞරෙන්ති ප්‍රනාන්දු ගේ බාල සොයුරු වීමයි. එමෙන්ම ඔහුගේ පියපස ආච්චි මිහිඳුකුලසූරිය වීරසිංහ ක්‍රිස්ටිනා පීරිස් මගේ මවගේ ආච්චි මිහිඳුකුලසූරිය වීරසිංහ ආනාමරියා පීරිස් ගේ නැගණිය වීමයි. අක්කා නංගි දෙදෙන විවාහවී සිටියේ අයියා මලෝ දෙදෙනෙකු සමඟය.
මගේ ආච්චි ඇග්නස් පව්ලේ තනි දරුවාය. ක්‍රිස්තිනා පුංචි හා පීටර් ජෝන් බාප්පාගේ පව්ලේ දරුවන් 6 දෙනෙකි. ඒ නිසා මගේ ආච්චි ඇලී ගැලී සිටියේ ඔවුන් සමගය. ඔවුන්ද නිතර අපේ ගෙදරය.
නෙවිල්ගේ ලොකු නැන්දා ෆ්‍රාන්සස් මගේ මවගේ ඥාන මව්‍ය. මගේ මව ඈ ඇමතූයේ මඤ්ඤා ඇන්ටි කියාය. අම්මා හට ලස්සන ඇඳුම්, පැලඳුම් ගොතා දී ඇත්තේ ඇයයි. ගෙතීමේ අති මහත් සමතියකි. අප දෙස බලාගෙන කතා කරමින් සිටි බිටිගා ගොතයි. අපනම් ගෙතුවේ ගණන් කරමින්‍ය. අපේ ගෙදර ආ විට අප බලෙන් ඇය නවත්වා ගනී. ඒ හොල්මන් කතා ඇසීමටය. ඉදිරි පෝස්ටුවකදී ඒවා සටහන් කරමි. ඒ පව්ලෙන් මා වඩාත්ම ආදරය කළේ නෙවිල්ගේ පොඩි නැන්දා මේරි ස්ටෙලාටය. ඇයට සිටියේ පුතුන් තිදෙනෙක් බැවින් එතුමිය මට ඉතා ආදරේය. පදිංචිව සිටියේ කොටුගොඩය. නිවාඩු ලද සෑම විටකම මම ඔවුන්ගේ ගෙදර ටික දිනක් නැවතුණෙමි.
පීටර් ජෝන් හා ක්‍රිස්තිනාගේ දරුවන් හය දෙනා ෆ්ලොරන්ස්, එරික්, ෆ්‍රාන්සස් , වෝල්ටර්, මේරි ස්ටෙලා හා වයලට් ය. මින් ෆ්ලොරන්ස්, එරික්, වයලට් මියගොස් ඇත්තේ ක්ෂය රෝගයෙනි. ඒ කාලයේ බෙහෙත් තිබී නැත. මගේ ආච්චි හා මගේ මවගේ පෝස්ටුවල මා ඇය ගැන සඳහන් කර ඇත. මගේ ආච්චි මරණාසන්න ඥාති සොහොයුරියක් ළඟ යාක්ඥා කරමින් සිටියදී මගේ අම්මා වැඩිවිය පත් බව අසා, ඉක්මනින් අවුත් සියලු රසකැවිලි කිරිබත් සාදා එදාම නාවා නැවත ඇය ළඟට ගිය බව මා සඳහන් කර ඇත්තේ මේ වයලට් ගැනය. පසු දින ඇය මියගොස්‍ ඇත.
අපේ පිටිපන වීදියේ ඥාති නිවෙස්වල උත්සව ගැන සිතීමත් සතුටකි. සංගීත ගුලාවකි. නෙවිල් ගිටාරය වයමින් ගීත ගයයි. ෆ්‍රාන්සස් මුඩානය ( කුඩා අඩු උස රබානක්. උරහිස හා මුහුණට ළං වනසේ තබා ගෙන ඇඟිලි වලින් වයයි. විරිඳු කාරයින් ගසන රබාන මෙනි.) ගසයි. බලාසිටින්නටත් ආසයි. වරින්වර අතේ මුද්දෙන් ලී රව්මට ගසයි. නටයි, ගයයි. මේරි ස්ටෙලා හා ඇගේ සැමියා ඩේවිඩ් ද අපි සියලු දෙනාද ගැයුවෙමු. මේරි ස්ටෙලා පියානො වාදනයට සමතියකි. සුනිල් සාන්තයන්ගේ ගී ගැයීම අනිවාර්‍ය විය. ‘ වරෙන් හීන් සැරේ ‘ ගැයූ හැටි දැනුත් මගේ කනට ඇසෙන්නා සේය. ‘ වවුලෝ…..කියපන්කෝ වාසි අතට හෝයියා ‘
තවමත් රැව්දේ.
ඔහුගේ සීයා පීටර් ජෝන්ද මහා සංගීත කරුවෙකි. සුප්‍රසිද්ධ ගීතිකා, කැරොල් ගී, නාට්‍යය සැදූවෙකි. නත්තල් සමයේදී දැනුත් ගැයෙන සුප්‍රකට, අති මිහිරි තනුවකින් යුතු කැරොල් ගීයක් වන ‘ ආවේ භුවි මණ්ඩලයේ ‘ එතුමාගේ නිර්මාණයකි. හලාවත ජනයා ඒ කාලයේ කැරොල් පෙට්ටි සරසාගෙන, වීදි සංචාරය කරමින් ගැයූවේ මෙවැනි ගීය. එතුමා ලියූ බොහෝ ගීතිකා දිවංගත ගරු එඩ්මන්ඩ් පීරිස් රදගුරු තුමාගේ ( ආනා මරියා හා ක්‍රිස්තිනාගේ නැගණිය ක්ලාරා ගේ එකම පුතු.) ගීතිකා පොත්වල සඳහන්ව තිබේ.
මගේ මවගේ සීයා M.W. ලෞරෙන්ති ප්‍රනාන්දු හා නෙවිල්ගේ සීයා M.W. පීටර් ජෝන් ප්‍රනාන්දු පැවත එන්නේ ‘ රජ තුන් කට්ටුව ‘ නමැති සුප්‍රසිද්ධ නාඩගමේ නිර්මාතෘ, නාට්‍ය ‍රචකයකු හා ගීත රචකයකුවූ මිහිඳුකුලසූරිය ගේබ්‍රියල් ප්‍රනාන්දු ( මූප්පුරාල ) ගේ පෙලපතෙනි.
මිහිඳුකුලසූරිය ගේබ්‍රියල් ප්‍රනාන්දු
( රජ තුන් කට්ටුව නාඩගම නිර්මාතෘ )
|
|————————————————|
ලෞරෙන්ති. සවරි
( මූප්පුරාල ). ( අන්නාවි හා විදානෙ ආරච්චි)
|
පීටර්
|
1 මැනුවල් ( නොතාරිස් )
2 ලෞරෙන්ති ( මූප්පුරාල ) + ආනාමරියා පීරිස්
|
ඇග්නස් ( මගේ ආච්චි ) + ෆිලිප් පීටර් පෙරේරා
|
ෆ්ලෙමිං + ක්ලැරිබල් – ගොඩ්වින්
ඩඩ්ලි + රොසිටා – ක්‍රිසන්තා , ප්‍රියංගනී
ලෝරන්ස් + ඩේසි – රොනිල් , රොඩ්නි , රොයිස්
මේරි ඇනී ප්‍රින්සි + D. P. පෙරේරා ( ගුරුතුමා ) – ඩන්ස්ටන් , ස්‍රියානි , ෂාමලින්
3 පීටර් ජෝන් + ක්‍රිස්ටිනා
|
ෆ්ලොරන්ස්
එරික්
ෆ්‍රාන්සස් + K.G. පෙරේරා – නීටා, ඔලිවියා, කාමන්, නෙයෝමි
වෝල්ටර් + මැකයුලා – ක්‍රිස්ටින් , නෙවිල්(ගායක ), යූලා, මර්නා, එරල්ඩ්, එලිනො
මේරි ස්ටෙලා + ඩේවිඩ් පෙරේරා – ගරු ක්ලිෆර්ඩ් පියතුමා , රුඩොල්ෆ්, එරික්
වයලට්
ඔහුගේ ආච්චි ක්‍රිස්ටිනාද සුප්‍රසිද්ධ පව්ලකින් පැවත එන කෙනෙකි. එතුමියගේ පෙලපත
මිහිඳුකුලසූරිය වීරසිංහ සවරි ජොහැන්නස් පීරිස් මුදලි තුමා දක්වා විහිදෙයි. ලන්දේසි යුගයේ 1766 සිට පීරිස් පෙලපතේ මුහන්දිරම් පට්ටම මෙතුමා දක්වා භාවිතාවී තිබේ. මේ පව්ලේද උගත්, බුද්ධිමත්, සංගීතයේ දක්ෂයෝ බොහෝය.
මුදලිඳු සවරි ජොහැන්නස් පීරිස්

READ:   EPF පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

|

අලෙන්සු – ආයුර්වේද වෛද්‍ය
( සර්වාංග, ඇස්, සර්ප විෂ)ෆිස්කල් නිලධාරි, ලෝකල් බෝඩ් සභාවේ සාමාජික, භාෂා විශාරද, පරිවර්තක
1. ආනා මරියා + ලෞරෙන්ති ප්‍රනාන්දු
– ඇග්නස් + ෆිලිප් පීටර් පෙරේරා
|
ෆ්ලෙමිං + ක්ලැරිබල් – ගොඩ්වින්
ඩඩ්ලි + රොසිටා – ක්‍රිසන්තා , ප්‍රියංගනී
ලෝරන්ස් + ඩේසි – රොනොල්, රොඩ්නි, රොයිස්
මේරි ඇනී ප්‍රින්සි + D.P. පෙරේරා – ඩන්ස්ටන්, ස්‍රියානි , ෂාමලින්
2. ඩියගු
3. ඉග්නේෂස්- ජෝන්, පැට්‍රික්, ඇලිස්, විල්ෆ්‍රඩ්, එස්තාක්කි
4. ජෝන් – හර්මන්, ඩන්කන්, රෙජිනෝල්ඩ් , ඩොරති , එඩ්මන්ඩ්
5. ක්ලාරා + ඩියගු පීරිස් – ගරු එඩ්මන්ඩ් පීරිස් රදගුරු තුමා
6. අනත්තාෂියා + එස්තාක්කි – ග්‍රේස් , ඇලෝෂියස්, සිසිල්, කැරලයින්
7. ක්‍රිස්ටිනා + පීටර් ජෝන් ප්‍රනාන්දු – ෆ්ලොරන්ස් , එරික්, ෆ්‍රාන්සස් , වෝල්ටර් ,
මේරි ස්ටෙලා , වයලට්
8. රෝස් මරියා +……….- ස්ටැන්ලි , මියුරියල්
මෙවැනි පව්ලකින් පැවත ආ නෙවිල් සංගීතයේ දක්ෂයකු වීම පුදුමයක්ද? මගේ අම්මා හා ආච්චි කිවූ පරිදි වෝල්ටර් මියගිය පසු මැක්යුලා හා දරුවන් හට බොහෝ දුෂ්කර කාලයක් උදාවී ඇත. ඥාතින් හැම අතින්ම උදව් කළාලු. ඇය වැඩිමල් දුව ක්‍රිස්ටීන් සමග ඥාති නිවෙස් වලට පැමිණ ඔවුන් දෙන දේවල් අරගෙන ගියාලු. එකවරක් මෙසේ පැමිණෙන විට මගේ ආච්චි දැක ඇත්තේ දැරියගේ කනේ කරාබු නැති බවයි. වහාම මගේ අම්මාගේ කනේවූ අරුංගල් යුවල ගලවා ඇයට දැම්මේලු.
නෙවිල් කුඩා කළ සිටම ගායනය හා වාදනයට සමත්වීලු. මා අසා ඇති පරිදි ඉතා කුඩා කාලයේ ඔහු ගිටාරයක් සෑදුවේලු. ඉගෙනීමේ දක්ෂයකුවූ ඔහු ගොස් ඇත්තේ මීගමුව
ශා. මරියා විදුහලටයි. සාමාන්‍ය පෙල විභාගය සමත්වූ ඔහු උසස්පෙළ නොහදාරා මරදාන කාර්මික විද්‍යාලයට ඇතුලුවී පාඨමාලාවක් හැදෑරුවේය. ඒ පව්ලට සහනයක් වීම සඳහා රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙනි. ඔහු ගුවන් විදුලියේද කාර්මික රැකියාවක් කළේය. නමුත් නිතර සිත ඇදී ගියේ සංගීත කලාවටය. ඔහු R. A. චන්ද්‍රසේනයන් යටතේ ගුවන් විදුලි වාදක මණ්ඩලයේ සේවය කළේය. එහිදී B. S. පෙරේරා, කේමදාස වැනි මහතුන් හඳුනා ගන්නට ලැබුණි. දිනක් ගුවන්විදුලියට පැමිණ සිටි සුජාතා අත්තනායක මහත්මිය නෙවිල් ළඟට වහා පැමිණ උදව්වක් ඉල්ලුවාය. ඒ එතුමියට එදින පටිගත කිරීමට තිබූ වැඩසටහනක ගීතයක් සඳහා තනුවක් ලබා ගැනීමටය. එතුමිය අත තිබූ සුනිල් ආර්. ගමගේ විසින් රචිත පදමාලාව ඔහු අතට මාරු විය. පැය භාගයක් යද්දී තනුව සාදා නිම වුනි. නෙවිල් සුජාතාගේ ගායන පරාසය හොඳින් දැන සිටියේය. මේ මිහිරි ගීය ‘ මංගල කසී සලු ‘ ය. අදටත් ජනප්‍රියය. හෙටටත් එසේය.
නෙවිල් මුලින් පිහිටාගත් කණ්ඩායම ‘ Fernando Trio ‘ ය. එහි ඔහු සමඟ ගී ගැයුවේ මීගමුවේම තරුණයින් දෙදෙනෙකු වන බර්නඩීන් ෆර්නෑන්ඩු සහ මෙරිල් ෆර්නෑන්ඩු ය. මෙරිල්ගෙ අම්මා මගේ මවගේ පියාවන ෆිලිප් පීටර් පෙරේරාගේ ලොකු අක්කාගේ දුවයි.
ඔවුන් සිංහල, ස්පාඤ්ඤ හා ඉංග්‍රීසි ගීත හෝටල්වල ගයා ප්‍රසිද්ධියට පත්ව ඇත. පන් තොප්පි, බතික් සරොම් කමිස ඇඳ ගැයූ යුගයේ ආරම්භය එය විය. නෙවිල් C.T. ප්‍රනාන්දුගේ
ගීත ප්‍රිය කළේය. ‘ මගෙ සුදු මාමේ ‘ ගීතය තරමක් වෙනස් ආරකින් ගායනා කළේය. C. T.
මෙයට විරුද්ධවිය. එපමණක් නොව ‘ පියුමෙහි පැණි බොති ‘ සිංදුව කියා නෙවිල්ට පොඩි උපහාසයක් කළේය. ‘ ගැයුවට ඉමිහිරි ගී උපුටා- කොවුලකු වෙනවද කලු කපුටා ‘ කියා කීවේ ඔහුටලු. පසුව නෙවිල් තව හතර දෙනෙකු සමග එකතුවී ‘ Los Cabellaros ‘ කණ්ඩායම පිහිටුවා ගත්තේය. මෙහි සංගීතය සංයෝජනය කරමින් ගිටාරය වැයූ ප්‍රධාන ගයකයා වූයේ නෙවිල්ය. හැරල්ඩ් පෙරේරා තාල තරංගද, වර්නන් හා ක්ලෙමන්ට් රෝලන්ඩ් රිදම් ගිටාරයද, ලියෝපෝල්ඩ් පෙරේරා බේස් ගිටාරයද වාදනය කළෝය. ඔවුන්ට චිත්‍රපටි වල ගී ගැයුමට අවස්ථාව උදාවිය. ‘ සැනසුම කොතැනද’ චිත්‍රපටියේ ‘ හරූන් ලන්ත්‍රා සහ ඇන්ජලින් ගුනතිලක ගයන සුලං කුරුල්ලෝ ‘ ගීතය සඳහා කේමදාසයන් නෙවිල්ව වාදනය සඳහා තෝරා ගත්තේය. එහිදී වැයුණේ නෙවිල්ගේ ගිටාරය හා තවත් භාණ්ඩයක් පමණි.
රංජිත් ලාල්ගේ ‘ නිම් වළල්ල ‘ චිත්‍රපටිය සඳහා ‘ අනන්තවූ තරු පිපෙන රැයේ ‘ ගීතය ගැයීමටද ඔවුන්ට අවස්ථාව ලැබුණි. පැංචා චිත්‍රපටියේ මිහිරි ගීය ‘ ලස්සන ලෝකෙට පා ඔසවාලා ‘ ගැයුවේද නෙවිල් ප්‍රනාන්දු සහ ඔහුගේ කණ්ඩායමයි.
දුලීකා චිත්‍රපටිය සඳහා ‘ සීත රෑ යාමේ ‘ ගීතය කේමදාසයන්ගේ සංගීතයට සනත් නන්දසිරි මහතා ගයනාවිට එහි ‘ දුලීකා…. දුලීකා… ‘ කියන කොටස ගැයුවේ නෙවිල්සහ ලොස් කැබලරෝස්‍ ය.
නෙවිල් ගේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘ දෙලොවක් අතර ‘ චිත්‍රපටියයි. එහිවූ සමාජශාලා දර්ශනය සඳහා ඔවුන්ට ‘ ගයන ගැයුම් නටන නැටුම් ‘ ගීතය ගයමින් රඟපෑමේ අවස්ථාව උදා විය. එය ඔවුන්ට මහත් කීර්තියක් අත්කර දුන්නේය.
නෙවිල්ගේ කලා දිවියට ආලෝකයක් ගෙනදීමට රුක්මණී දේවී සමත් විය. එතෙක් කල් ශෝකී ගායනා සඳහා යොමුව සිටි රුක්මණී ප්‍රීතිය උතුරා යන හඬින් නෙවිල් සමග ගැයුවාය.
මුලින් කණ්ඩායමේ සමහරු පවා රුක්මණී එකතුකර ගන්නවාට අකමැතිවී තිබුණේ ඇගේ ශෝකී ගීරාවය නොගැලපේයයි සුතූ බැවිනි. එහෙත් සැම දෙනා අමන්දානන්දයට පත්කර මේ ගී ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ළඟා විය.
‘ මල්බර හිමිදිරියේ ‘, ‘ මැණිකේ ඔබේ සිනාවේ’, ‘ සඳක් නැගී සඳක් ගිලේ සාගරේ’ සහ තව බොහෝ ගීත මේ අතරේ බිහි විය. දැනුත් ගීත සාදයකදී මේ සිංදු අනිවාර්යයෙන් ගැයේ.
රුක්ම්ණීගේ නැගණිය ෆ්ලොරන්ස් විවාහවී සිටියේ හලාවත එඩ්වින් ප්‍රනාන්දු ( ස්ටූඩියෝ ටයිම්ස් අධිපති ) සමඟය. එඩ්වින් මගේ තාත්තාගේ ගෝලයෙකි. ඔවුන් පදිංචිව සිටියේ අපේ ගෙදර පසුකර යනවිට හමුවන වට්ටක්කලියේය. මා මාස 5 1/2 කදී පමණ තලවිල ශා. ආනා පල්ලියේ ගත් ඡායාරූපයක් ඇත. එය ගෙන තිබුණේ එඩ්වින් අංකල් ය. මගේ අම්මා කිව්වේ ඔහු නිතර මා වඩාගෙන ඔවුන්ගේ වාඩියට ගෙන ගිය බවත්, එහිදී රුක්මණී දේවි මා වඩාගන සුරතල් කළ බවත්‍ය.
නෙවිල් රුක්මණී සමඟ ගී ගයන කාලයේදී, ගිටාරයද ඔසවාගෙන අපේ ගේ ඉදිරිපිටින් එඩ්වින් ප්‍රනාන්දුගේ නිවසට යයි. අපේ ගේ ගාව නතරවී මගේ අම්මා සමග කතාබහේ යෙදෙයි. ඔහු මගේ මව ඇමතූයේ ‘ ප්‍රින්සි සිස්ටර් ‘ කියාය. අපේ පිටිපන වීදියේ නෑ පරපුර තම වැඩිමහල් ඥාති සොයුරියන් ඇමතූයේ ඒ ලෙසිනි. ඔහු ලස්සන සිනාවකින් මුව දල්වාගෙන, දෑස් දල්වාගෙන කතා කරන හැටි මට මැවී පෙනේ. ඔහු අප දෙස බලන්නේ ආදරයෙනි. කිසිම විටක සිනහව මැකුනේ නැත. ඊට ටික වෙලාවකට කලින් රුක්මණී දේවි රියදුරු සමග තම කාරයෙන් එහි ගිය බව දුටුවෝ කීහ. දෙදෙනා එකට කාරයෙන් ගියේ නැත. තරමක් වේලා එහි ගතකොට නැවත යයි.
නෙවිල් ලෙඩවූයේ මේ අතරය. ඒ වනවිටත් ඔහු ගායනා ලොවේ හිනිපෙත්තේ විය. ඔහුට ලේ පිළිකාව ( Leukaemia ) සෑදී තිබුණි. නිමල් මෙන්ඩිස්ගේ සංගීතයට, කරුණාරත්න අබේසේකරයන් ලියූ, මැණික් සන්ද්‍රසාගරගේ ‘ කලු දිය දහර ‘ චිත්‍රපටිය සඳහා ‘ පනම් අටෙන් ( මාස්ටර් සර් ) ගීය ගැයීමට ඔහුට ආරාධනා ලැබුණි. ඒ වන විට ඔහු හොඳටම ලෙඩින්‍ය. ඒත් අභියෝගය බාර ගත්තේය. අවට සිටියවුන් විස්මිත කරමින් ගීතය ගායනා කළේය. කරුණාරත්න අබේසේකර මහතාගේ දෑස් කඳුලින් තෙත් විය. මුව නොසෑහෙනසේ ප්‍රශංසා කළේය. ” මේ චිත්‍රපටිය තිරගත වෙනකොට මම නොඉන්න පුලුවන්. ” ඔහු කීවේය. ඔහුගේ දෑස කඳුලින් බරව තිබුණි. එය එසේම විය. චිත්‍රපටිය තිරගත වූයේ ඔහු මියගිය පසුවය. අදට වුවත් මේ ගීය උච්ච ස්වරයෙන් ගායනා කළ හැක්කේ ටික දෙනෙකුට පමණි.
ඔහු මීගමුව රෝහලේ සිටිනාවිට මගේ දෙමව්පියො දෙවතාවක්ම බලන්නට ගියහ. සුපුරුදු සිනාව මැකී ගොස් නැතිබව අම්මා කීවාය.
නෙවිල් මියයාමට පෙර ‘ මා පැතූ ඒ මගෙ ලොවයි ‘ නම් ගීතය ගැයුවේය. ඒ ඔහුගේ අවාසනාවන්ත ඉරණම පිලිබඳවයි. ඔහුගේ වෙන කිසිම ගීතයක අසන්නට නොලැබෙන ආයාසයකින් හුස්ම ගන්නා හඬ මට මෙහි ඇසේ. මීගමුව රෝහලේ සිට ස්ව කැමැත්තෙන්ම ගෙදර පැමිණියත් නැවත කොළඹ මහ රෝහලට ඇතුල් කිරීමට සිදුවිය.
1975 අප්‍රේල් 23 දා මහ රෝහලේදී තම නැගණිය එලිනෝ ලඟ සිටියදී ඔහු දෙනෙත පියා ගත්තේය. මගේ මව්පියෝ ඔහුගේ අවසන් කටයුතු සඳහාද සහභාගි වූහ. මීගමුව සුසාන භූමියේ මිහිදන් විය.
ඔහුගේ පියා වෝල්ටර් මියයනවිට වයස අවුරුදු 33 කි. නෙවිල් මිය යන විට අවුරුදු 38 කි.
නෙවිල් තම අක්කා ක්‍රිස්ටීන්ද තම බාල සහෝදර සහෝදරියන් වන යූලා, මර්නා, එරල් හා එලිනෝද තනිකර දෙව්මව් තුරුලේ සැතපීමට ගියේය.
කලු දිය දහර චිත්‍රපටිය තිරගත වන විට මගේ දෙමව්පියන් සමග මමද චිත්‍රපටිය නැරඹීමට ගියෙමි. ශාලාව පුරා නින්නාදවූ ඒ ගී රාවය ඇසූවන් පුදුමයට පත් කළේය. මගේ අම්මාගේ දෑසින් කඳුලු බේරෙනවා මම දුටිමි.
අද පෙබරවාරි 5 වන දින ඔහුගේ 86 වන උපන් දිනයයි. මගෙන් නෙවිල් මාමාට පිදෙන උපහාරය මෙයයි. අද ස්වර්ගයේ ඔබ වෙනුවෙන් උත්සවයක් පැවැත්වෙනවා ඇති. වෝල්ටර් සීයා වයලින් වයන අතර මේරි ස්ටෙලා මම්මා පියානො ගසනවා ඇති. ෆ්‍රන්සස් මම්මා මුඩානය ගසන අතර ඔබ ගිටාරය වයනු ඇත. මැක්‍යුලා මම්මා ගීත ගයනු ඇත. අප පොඩිකාලේ දුටු සංගීත සාජ්ජය අදත් පැවැත්වෙනවා ඇත.
මට අන්තිමට කීමට ඇත්තේ මෙයයි.
හලාවතට කීර්තියක් ගෙනදුන් ඔබ දෙව්මව් තුරුලේ සැතපේවා! අදටත් අපේ නෑහිතවතුන් අතර පැවැත්වෙන උත්සවයකදී මම අනිවාර්යයෙන්ම ඔබේ ගීත ගයමි. ඒ ඔබට පුදන උපහාරයක් ලෙසිනි. හලාවත නෑ පිරිසටත්, ඔබේ රසිකයන්ටත් ඔබ කිසිදා අමතක නොවේ.
අදටත් Neville Fernando Fan Club හි Admin වරු, ඔබේ ගීත, රසිකයන් වෙත මුදාහරිමින් මහත් සේවයක් ඉටු කරති.

READ:   ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක්

දෙලොවක් අතර චිත්‍රපටියෙන් ගයන ගැයුම් ගීතය
https://youtu.be/PsTmhtdOIAA
ලස්සන ලෝකෙට පා ඔසවාලා ගීතය
https://youtu.be/VWmHW4Xi2nM
මා පැතු මගේ රන් ලොවයි ගීතය
https://youtu.be/FlSxGD2LrLk

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්