Thursday, March 28, 2024
Homeදේශීයතරුණ නීතිඥ හා ජනමාධ්‍යවේදීන්ගේ සංගම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අනීතික...

තරුණ නීතිඥ හා ජනමාධ්‍යවේදීන්ගේ සංගම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අනීතික අත්අඩංගුවට ගැනීම් ගැන ලියයි..

විනිසුරු (විශ්‍රාමික) රෝහිනී මාරසිංහ මහත්මිය,
සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.

සභාපතිතුමියනි,

රට පුරා කෙරෙන නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ හිංසනයට පත්කිරීම් සම්බන්ධවයි

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති මයිනාගෝගම සාමකාමී විරෝධතාවයට සහ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝඨාගෝගම සාමකාමී විරෝධතාවයට මැයි 09 වැනිදා සිදුකළ සංවිධානාත්මක ප්‍රහාරය නිසා රටපුරා සිදුවූ සිදුවීම් ගැන ඔබ මේවනවිටත් දැනුම්වත්ව සිටින බව අපි විශ්වාසකරමු.

රටපුරා එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවූ සාමකාමී විරෝධතාවයට පහරදීම ගැන ඔබ කොමිෂන් සභාව මේවනවිටත් විමර්ශන ආරම්භ කර ඇති අතර පසුගිය සතියේ අප සංගම් දෙකේම සාමාජිකයන් සාක්කි ලබාදීම සිදු කළේය. එහිදී අප පැහැදිලිවම සඳහන් කළ පරිදි රටපුරා ඇතිවූ සිදුවීම්වල ආරම්භය අරලියගහ මන්දිරයෙන් මුදා හළ ප්‍රචණ්ඩත්වය වන අතර මීට පෙර මැයි 15 වැනිදා ඔබටද පිටපතක් සහිතව පොලිස්පතිට යොමු කළ ලිපියේ පැහැදිලිවම සඳහන් කළ පරිදි රටපුරා ඇතිවූ සිදුවීම්වල අපරාධ වගකීම අරලියගහ මන්දිරයෙන් ප්‍රචණ්ඩත්වය පැතිරූ පිරිසට ඇති බව අපි යළිත් අවධාරණය කරමු.

එසේ තිබියදී මැයි 09 වැනිදා ඇතිවූ සිදුවීම්වලට බව කියමින් මේවන විට 2000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තා කළේය. මෙම සියලු අත්අඩංගුවට ගැනීම් රාජ්‍ය මර්දනයක ස්වරූපයෙන් ක්‍රියාත්මක වන බැවින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතල ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී තිබේ. ඊට උදාහරණ ලෙස සිදුවීම් රැසක් ඇති අතර සිදුවීම් දෙකක් පමණක් පහතින් සදහන් කරමු.

01) වසර ගණනාවක සිට පරිසරය සහ අයිතිවාසිකම් වෙනුවන් වැඩ කළ සමාජ ක්‍රියාකාරිකයකු වන වෑකඳවල රාහුල හිමියන් අත්අඩංගුවට ගැනීම

වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට අයත් කුඩාබිබුල ශ්‍රී බෝධිරුක්ඛාරාමවාසී වෑකඳවල රාහුල හිමියන් කාලයක් තිස්සේ පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් සහ පාරිසරික අයිතීන් වෙනුවන් වැඩ කරන සමාජ ක්‍රියාකාරිකයෙකි. පාරිසරික විනාශවලට එරෙහිව අවස්ථා කිහිපයකදී ඔබ කොමිෂන් සභාවටද සහභාගී වී ඇති ඒ හිමියන් ගෝඨාගෝගම ඒකාබද්ධ පරිසර එකමුතුවේද ක්‍රියාකාරී සාමාජිකයෙකි. මැයි 09 වැනිදා වීරකැටියේ පිහිටි ඩීඒ රාජපක්ෂ අනුස්මරණ සොහොන සහ දේශපාලනඥයන්ගේ නිවාස ගිනී තැබීම ගැන ප්‍රකාශයක් ගැනීමට ඒ හිමියන්ගේ විහාරස්ථානයේ වැඩවාසය කරන දේවාලේගම මේධානන්ද හිමියන් මැයි 26 වැනිදා පොලිසියට කැඳවා තිබුණු අතර රාහුල හිමියන් සහ තවත් හිමිනමක් එදින උදෑසන දේවාලේගම මේදානන්ද හිමි කැඳවාගෙන වීරකැටිය පොලිසියට ගොස් තිබේ. එම සිදුවීම් සම්බන්ධයෙන් දේවාලේගම හිමියන් අත්අඩංගුවට ගෙන පසුදින අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය හවස දැනුම්දී ඇති අතර ඒ අනුව රාහුල හිමියන් යළි විහාරස්ථානයට යෑම සඳහා පොලිසියේ සිට ගොස් තිබේ. එසේ යද්දී රාහුල හිමියන්ට යලිත් වීරකැටිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දී ඇති අතර මැයි 09 වැනිදා සිදුවීම්වලට රාහුල හිමියන් සම්බන්ධ බවට (පහරදීම් කළ බවට) දේශපාලනඥයකුගේ පුතකු ප්‍රකාශ ලබා දී ඇති හෙයින් රාහුල හිමිද අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිසිය දැනුම්දී ඇත. අදාල සිදුවීම වන දින තමන් සිටියේ මාතර බවත්, මාතර කටයුතු කිහිපයකට සහභාගී වී මාලිම්බඩ විහාරස්ථානයකට ගිය බවත් රාහුල හිමියන් ප්‍රකාශ කර තිබේ. රාහුල හිමියන් අදාල තැන්වල සිටියේද යන්න ගැන කිසිම විමර්ශනයක් නැතිව පොලිසිය රාහුල හිමි අත්අඩංගුවට ගත්තේය. 

READ:   මර්ධනයට එරෙහි විරෝධතා පා ගමනට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර (VIDEO)

02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුද්ලයකු අත්අඩංගුවට ගෙන පහරදීම

නිට්ටඹුවේ පදිංචි යූ ඒ උපුල් දුමින්ද නම් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිට්ටඹුව පොලිසියට කැඳවා ඇති අතර ඔහුට පහර දෙමින් ප්‍රශ්න කර තිබේ. ඒ සම්බන්ධයෙන් මැයි 26 වැනිදා සීඅයිබී ii 195/82 අංකයෙන් පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට පැමිණිලි කළේය. යළිත් වරක් නිට්ටඹුව පොලිසියට කැඳවීමක් ලැබී ඇති අතර නීතිඥවරයකු ඔහු නිට්ඨඹුව පොලිසියට කැඳවාගෙන ගොස් ඔහුට පහරදීමට අයිතියක් නැති බව පැහැදිලි කර ඇත. එහිදී පොලිසිය පවසා ඇත්තේ ඔහුගෙන් තොරතුරක් ලබා ගැනීමට ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පමණක් අවශ්‍ය බවයි. යලිත් වරක් අද කැඳවීමක් ලැබී ඔහු නිට්ටඹුව පොලිසියට ගිය අවස්ථාවේ එහි සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව කියන පිරිසක් ඔහුට පහරදී වාහනයක නංවාගෙන පිටව ගොස් ඇත. ඔහුගේ නිවසට රැගෙන ගොස් ඔහුගේ මව බලා සිටියදීම පහරදී මැයි 09 වැනිදා ඇඳ සිටි ඇඳුම් ලබා දෙන ලෙස කියමින් යළිත් රැගෙන ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. 

මෙවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වෙමින් ඇති අතර ඇතැම් පුද්ගලයන් හදිසි නීති රෙගුලාසි යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති හෙහින් ඇප ලබා ගැනීමට හෝ නොහැකිව තවදුරටත් රිමාන්ඩ් බාරයේ පසුවෙයි. ඊයේ දිනයේද එවැනි සිදුවීම් දෙකක් මිනුවන්ගොඩ සහ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණවලින් වාර්තා විය. 

රාජ්‍ය මර්දනයක ස්වරූපයෙන් ක්‍රියාත්මක වන මෙම අත්අඩංගුවට ගැනීම් නිසා දිනෙන් දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් කඩවෙමින් තිබේ. මෙය සුළුවන් තැකිය නොහැකි බරපතල තත්ත්වයක් බැවින් තරුණ නීතිඥ සංගමය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස පහත ඉල්ලීම් කරමු.

මැයි 09 වැනිදා සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් බව කියමින් ශ්‍රී ලංකා පොලිසියට ලැබී ඇති සියලුම පැමිණිලි සම්බන්ධ ලේඛනයක් කැඳවන ලෙස ඉල්ලා සිටිමු.

එම පැමිණිලි සම්බන්ධයෙන් බව කියමින් මේවන විට අත්අඩංගුවට ගෙන ඇති සියලුම පුද්ගලයන් සම්බන්ධයෙන් සහ ඔවුන් එම සිදුවීම්වලට සම්බන්ධ බව කීමට ඇති සාක්කි සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස ඉල්ලා සිටිමු.

READ:   ඉඩම් ගැටලුවට විසඳුම් ඉල්ලා හැටන් ජනතාව වීදි බසී..

එම සියලුම සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකර සාක්කි නැතිව අත්අඩංගුවට ගත් සියලු දෙනා මුදා හැරීමට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.

පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේදී ගැටලු ඇතිවී ඇත්නම් (නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම්, රඳවා තබා ගැනීම් ආදිය) එම සිදුවීම්වලට සම්බන්ධ සහ ඒවා අධීක්ෂණය කළ සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත්, ඔවුන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කරන ලෙසත් ඉල්ලා සිටිමු.

මැයි නව වැනිදා රට පුරා සිදුවූ සියලුම සිදුවීම්වලට මුල්වූ ගෝඨාගෝමට සහ මයිනාගෝගමට සැලසුම්සගතව පහරදුන් පිරිසට රට පුරා සිදුවූ සියලුම සිදුවීම්වල අපරාධ වගකීම ද පැවරීමට නිර්දේශ කරන ලෙසත් ඉල්ලා සිටිමු.

තවද මෙකී නීතිවිරෝධී අත්තඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම් ආදිය තවදුරටත් සිවුවීම වළක්වාගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.

ඇතිවී තිබෙන බරපතල තත්ත්වය සැලකිල්ලට ගෙන කඩිනමින් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ස්තුතියි.

මෙයට,

01) නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ,තරුණ නීතිඥ සංගමය.

02) තරිඳු ජයවර්ධන, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

පිටපත්

01) ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය.

02) සභාපති, රාජ්‍ය සේවා කොමිෂන් සභාව.

03) සභාපති, ජාතික පොලිස් කොමිෂන් සභාව.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්