හොරු නිදහස් කරලා, ඒවට විරුද්ධ අය හිරේ යවනවා
නිදහස් පක්ෂෙන් සිරිසේන මාව පන්නන්න හදනවා
ලංකාවෙ දේශපාලනේ ගැන මට ලොකු බයක් තියෙනවා
ගිවිසුමක් අත්සන් කළා කියලා සිංහල බෞද්ධභාවය අඩු වෙන්නේ නෑ
- හිටපු ජනාධිපතිනිය වර්තමානය දකින හැටි
වත්මන් ආණ්ඩුව හොරුන්, මිනීමරුවන් නිදහස් කර, ඒවාට විරුද්ධව කටයුතු කළ මිනිසුන් අත්අඩංගුවට ගනිමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පවසයි.
‘ලයිෆ් ට්‍රැවලර්’ සමග සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිනිය එහිදී පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් නෙරපීමට සභාපති වන මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බවයි.
සාකච්ඡාව අතරතුරදී හිටපු ජනාධිපතිනිය මෙසේද පැවසුවාය.
“හොරු ටිකයි, මිනීමරුවො ටිකයි නිදහස් කරලා, ඒවට විරුද්ධව කටයුතු කරපු මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න බලනවා විතරක් නෙවෙයි, අත්අඩංගුවට අරගෙනත් තියෙනවා.
මම පක්ෂේ අතෑරියේ නෑ. මාව පක්ෂෙන් පන්නන්න උත්සාහ කරනවා ගොඩක් සිරිසේන. අද මේ දූෂ්‍ය වෙලා, ජරා වෙලා තියෙන ලංකාවේ දේශපාලනේ ගැන මට ලොකූ බයක් තියෙනවා. ගිවිසුමක් අත්සන් කළා කියලා, ලාංකීයභාවය, නැත්නම් ඔය සිංහල බෞද්ධභාවය පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නෑ. දේශපාලකයෙකුට තමා පිළිබඳව විශ්වාසයක්, ආත්මවිශ්වාසයක් තියෙන්න ඕනේ.”
සම්පූර්ණ සාකච්ඡාව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.


