ඔබතුමාගෙ උපන්ගම ගැන පොඩ්ඩක් කිව්වොත්…
මම ඉපදුනේ කොළඹ, 1958 අවුරුද්දෙ. හැඳුනුම්පතේ හැටියටනම් මරදානේ.
ඔබතුමාගේ අධ්‍යාපන කටයුතු ගැන මතක් කලොත්…
මම ඉගෙනගත්තේ නුවර ධර්මරාජ විද්‍යාලයේ, ඊට පස්සේ රුහුණු විශ්වවිද්‍යාලයේ. ආරම්භක ශිෂ්‍ය කණ්ඩායමේ එක්කෙනෙක්. මම හිතන්නේ පළවෙනියා හරි දෙවෙනියා හරි වෙන්න ඕනේ. ඊට පස්සේ මම ඉක්මනින්ම මාරුවක් හදාගෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අවා. ඇවිත් එහේදී සිංහල ගෞරව උපාධිය හැදෑරුවා. මට පලවෙනි පන්තියේ සාමාර්ථයක් තිබුනා. එහෙම පලවෙනි පන්තියේ සාමාර්ථයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබාදුන්නේ අවුරුදු 11කට පසුවයි. මට සියලුම විෂයන්ට A සාමාර්ථ තිබුනා. මම හිතන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට පස්සේ ඒ වගේ A සාමාර්ථ තිබුන පලවෙනි අවස්ථාව තමයි ඒ. ඊට පස්සේ ජපානෙදි තමයි පශ්චාත් උපාධිය හැදෑරුවේ.
ඔබතුමා ජපානයට ආවේ මොන අවුරුද්දෙදි ද? ජපානය ම තෝරගන්න විශේෂ හේතුවක් තිබුණ ද?
මම පශ්චාත් උපාධියට ජපානයට ආවේ 1987දී. ඇත්තටම ජපානය තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණා. 1985 වර්ෂය ලෝක තරුණ වර්ෂය ලෙස නම්කර තිබුණා. ඒ වර්ෂයේ ලෝක තරුණ නෞකාව වන නිප්පොන්මරු නෞකාව ලංකාවට ආවා. ඒ නැවෙන් ලෝකය වටේ සංචාරය කරපු විසිපස් දෙනාගේ කණ්ඩායමට මාවත් ඇතුළත් වුනා. එතනදි මාසයක් පුරාවට ජපන් ජාතික තරුණ තරුණියන් සමඟ සංචාරය කරන්න ලැබුණා. ඒ අත්දැකීම් නිසා ආයෙත් ජපානයට යන්න ඕන කියල හිතුනා. ඒ සිතුවිල්ලත් එක්ක ලංකාවට ගොඩබැහැපු ගමන් ජපානයේ “මොන්බුෂෝ” ශිෂ්‍යත්වයට අයදුම් කලා. ඒකෙන් මම පළවෙනියා වශයෙන් තේරුණා.

ඔබතුමා ජපානයට ආපු මුල් දවසේ ඉඳන් ඔබතුමා ගතකල ජීවිතය ගැන සිහිපත් කලොත් ? විශේෂයෙන්ම විදේශ ශිෂ්‍යයෙක් වශයෙන්, භාෂා ප්‍රශ්නය ඇතුළුව ඔබතුමා මුහුණ දුන්න ගැටළු මොනවද ?
මට ජපන් භාෂාව ඉගෙනගන්න ලැබුණේ “ත්සුකුබා” විශ්වවිද්‍යාලයෙන්. ඒ කාලයේ වර්ෂයකට “මොන්බුෂෝ” පශ්චාත් උපාධියේ ශිෂ්‍යත්වලාභීන් ලංකාවෙන් මට මතක විදියට 7 දෙනෙක් එන්න ඇති. එතකොට ලංකාවෙන් කොටසක් “ඕසකා ගයිදයි” එකටත් අනිත් කොටස “ත්සුකුබා” විශ්වවිද්‍යාලයටත් භාෂාව ඉගෙනගන්න යෙදෙව්වා. ත්සුකුබා විශ්වවිද්‍යාලයේ මාස හයක් ඉගෙනගන්න හම්බවුනා. කිසිම ගැටලුවක් වුනේ නෑ. මම තමයි ඒ කණ්ඩායමෙත් පළවෙනියා වුනේ. ඒ නිසා ඉතා පහසුවෙන් භාෂාව හසුරවන්න පුළුවන් වුණා. එකේදි මට තාම මතක් වෙනවා මුහුණදුන්න එක අත්දැකීමක්. මට ගොඩක් දුරට භාෂාව පුළුවන් වුනා, මාසයක් යද්දී. මාස දෙකක් විතර යද්දී සම්පුර්ණයෙන් ම පුළුවන් වුණා. අපිත් එක්ක තව රටවල් පහළොවක් විතර හිටියා. ඊට පස්සේ මාස දෙක ඉවරවෙනකොට අපිට ලොකු අභියෝගයක් ලැබුනා. භාෂාව ඉගෙනගෙන, ඊට පස්සේ යන්න තියෙන විශ්වවිද්‍යාලය සම්බන්ධයෙනුයි ඒ අභියෝගය ලැබුනේ. ඒ වෙනකොටත් අපි යන්න ඕන විශ්වවිද්‍යාලය දැනගෙනයි හිටියේ. ඒ කාලේ ජංගම දුරකථන තිබුණේ නෑ. ඒ විශ්වවිද්‍යාලයට පාරේ තියෙන දුරකථන පෙට්ටියකින් කතා කරලා මහාචාර්යවරයට තමන් ගැන හඳුන්වාදීල මහාචාර්යවරයාගෙන් හමුවෙන්න වෙලාවක් දිනයක් නියමකරගෙන, යන පාර අහගෙන අදාළ දිනයට මහාචාර්යවරයව ගිහින් හමුවෙලා, හමුවීම පිළිබඳව ජපන් භාෂාවෙන් වාර්තාවක් ඉදිරිපත්කරන එක තමයි අපිට ලැබුණු අභියෝගය. ඒක විශාල අභියෝගයක් වුණා. ඇවිත් මාස දෙකයි. එතකොට මට යන්න තිබුන විශ්වවිද්‍යාලය තමයි කනගාවා පළාතේ “තෝකයි” විශ්වවිද්‍යාලය. එතනට සෑහෙන්න දුරයි. ත්සුකුබා ඉඳලා බස් – කෝච්චි හතර පහකට මාරු වෙවී යන පැය එකහමාරක විතර අමාරු ගමනක්. අන්තිම ඉස්ටෙෂමෙන් බැහැලත් විශ්වවිද්‍යාලය හොයාගෙන, අදාළ දෙපාර්තමේන්තුව හොයාගෙන මහාචාර්යවරයවත් හොයාගන්න ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුනා. මම එතනට ගියාට පස්සේ මහාචාර්යවරයා පුදුම වුනා. මෙච්චර ඉක්මනට ජපන් භාෂාව පුරුදු වෙලා මෙච්චර හොඳට කතා කරනවා කියල. විනීත ව්‍යවහාරය හොඳට ඉගෙනගෙන ගියේ, මේ ගමනට නිසාම. එතකොට විනීත ව්‍යවහාරයෙන් මහාචාර්යවරයෙකුට කතාකරන්න ඕන කියල මම දැනගෙනයි හිටියේ. ඒ නිසා මම ඒ භාෂාව පාවිච්චි කලාම එයාට පුදුම හිතුනා. ඒක හින්ද මට කිසිම කරදරයක් වුනේ නෑ. ඒක තමයි ජපන් භාෂාව ගැන තියෙන හොඳම අත්දැකීම මට ලැබිච්ච.
ඔබතුමා ජපානයේ එදා සහ අද දකින වෙනස්කම් මොනවද ?
ලොකු වෙනසක් නෑ.
මිනිසුන්ගේ ආකල්ප ගත්තොත් ?
ලොකු වෙනසක් නෑ. එදා හිටපු ජපන් ජාතිකයන් ම තමයි අද ඉන්නේ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එදා මෙහෙ තද නිල්පාට ෂූට් ඇන්දෙ. අද කළු පාට ෂූට් අඳිනවා. ඒ වගේ එකක් දෙකක් ඇරුනම, විදේශිකයන් එක්ක ගනුදෙනු කරන්න දක්වන දුරස්ථභාවය, විදේශිකයන්ට ගෙවල් දොරවල් (අපාර්ට්මන්ට්) දෙන්න දක්වන මැලිකම, ලංකාව වගේ කුඩා රටවල් ගැන තියෙන නොදැනුවත්කම එදත් එකයි, අදත් එකයි.
අපි ඉන්නකන් මමත් අත්වින්ද අත්දැකීම් ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ මම හිටපු අපාර්ට්මන්ට් එකේ අල්ලපු කාමරයේ හිටියේ ගෑනු ළමයෙක්. ඒ ළමයා දවසක් මගෙන් කතා කරලා ඇහුවා, ලංකාවේ පාරවල් තියෙනවද මල් එහෙම තියෙනවද කියලා. එතකොට විශ්වවිද්‍යාලයේ එයා දෙවන වසරේ. ඉතින් මම හිතුවා දන්නේ නැති කම නිසා වෙන්න ඇති කියලා. මම කසාද බැන්දේ ලංකාවේ විශ්වවිද්‍යාලයේදී යාලු වුන ගෑනු ළමයෙක්ව. ඉතින් මම එයාවත් ජපානෙට එක්කන් ආවා. දවසක් අර අල්ලපු ගෙදර ජපන් ගෑනු ළමයා මගේ බිරිඳගෙන් අහල තියෙනවා, ලංකාවේ ගැහැණු අයත් ඔසප් වෙනවද කියලා. ඉතින් ඒකනම් සමහරවිට පුදුම එලවන සුළුයි. මම ඒ කාලේ මුද්‍රණ ආයතනයක අමතර රැකියාවක් කළා. ලොකු “ප්‍රෙස්” එකක්. මිනිස්සු යුනිෆෝම් ඇඳලා තමයි වැඩ කරන්නේ. එතන මිනිහෙක් ඇවිත් පිහියකින් මගේ කකුල කැපුවා. මගේ කලිසමයි කකුලයි කැපිලා ලේ එන්න ගත්තා. ඊට පස්සෙ මිනිස්සු ඇවිත් බෙහෙත් දාල ගිලන් රථයකට කතා කළා. ඒ වෙලාවේ මගේ කකුල කපපු කෙනා කියල තිබුනේ, ඇත්තටම මගේ ලේ රතු පාටද බලන්න හිතුනා කියලයි. ඒ වෙලාවේ අර ඔසප් වෙනවද අහපු ප්‍රශ්නෙයි මේකයි අතරෙ සම්බන්ධයක් තියෙන බව මට තේරුනා. ඒ මිනිස්සු හිතන් ඉන්නේ අපි අමුතුම සත්තු ජාතියක් කියලා. ඉතින් ඒක ලොකුවට වෙනස් වෙලා නෑ.

ඒත් ඒ වුනාට, දැන් අපි බැලුවොත් ජපන් ජාතිකයන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා එක එක හැකියාවන් වලට. ඔබ තුමා මෙහේ ජීවත් වුන කාලය තුළ දැකපු මොකක් හරි ප්‍රධානත ම ගුණාංගයක් තියෙනවද ජපන් ජාතිකයන් තුළ තියෙන?
“සැලසුම් කිරීම”. සැලසුම් කිරීම සහ ඒ සැලසුමට අනුව කටයුතු කිරීම. ඒ වගේ දේවල් වලට ජපන් ජාතිකයන් හරි ප්‍රසිද්ධයි. ජපන් භාෂාවේ තියෙනවා “කොමකයි” (細かい) කියල දෙයක්. ඒ කියන්නේ හැම දේම හැම සියුම් තැනක ඉඳල ම හොයනවා. පුංචි පුංචි දේවල් පවා හරියට හොයනවා. ඒකට හොඳ උදාහරණයක් තමයි “ඉකෙබනා” කලාව. ඉකෙබනා කියන්නේ හරිම “කොමකයි” හරිම සියුම්. ඒකෙ අඟල් කීයක් නමනවද, දකුණට අංශක කීයක් තියෙනවද, මේ පැත්තෙන් දුර කොච්චරද, උස පළල හැම දේම එහෙමනේ. ඊ ළඟට “තේ කලාව” ගත්තොත් ඒ කෝප්පය කී පාරක් කරකවනවද කී පාරක් වම් අතට ගන්නවද දකුණු අතට ගන්නවද, නැමෙන ප්‍රමාණය වගේ දේවල් හරිම සියුම්. එතනින් ගියාම කිමෝනා එකේ තියෙන ඩිසයින් එක ගත්තම හරිම “කොමකයි”. ඒ කොමකයි කියන එක හැම එකේම තියෙනවා. වැඩ වල තියෙනවා. බඩු භාණ්ඩ වල තියෙනවා, “planning” වල තියෙනවා. කොමකයි නිසා තමයි ඒ මිනිස්සු දියුණු වුනේ කියල මට හිතෙනවා.
ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ඒ ගොල්ලෝ අතින් නිමවෙන හැමදේම සර්වසම්පුර්ණ ද?
ඔව්. සර්වසම්පුර්ණ වෙන්නේ ඒ හින්දනේ. නැත්නම් කොහේ හරි ඇදයක් තියෙනවනේ. අපි සාමාන්‍යයෙන් කියනවනේ ජපන්න්නු “innovative” ජාතියක් නෙමෙයි කියලා. අනුන් හොයාගත්තු එකේ අනුන්ගේ තියෙන අඩුපාඩු දුර්වලතා නැතුව හරියට හදනවා. ඒකනේ කියන්නේ දැන් ඒගොල්ලෝ මොනවත් හොයාගෙන නෑ. කාර් එකවත් ටයර් එකවත් මොකක්වත්. ඒ කියන්නේ ඒ ඔක්කොම වෙන ජාතින් හොයාගත්ත ඒවා අරගෙන ඒක ආපහු “finetune” කරලා වෙන එකක් හදනවා. ඒක අර කොමකයි කියන එකත් එක්ක සම්බන්ධයක් තියෙනවා. එතකොට “planning” වුනත් එහෙමයි. planning මාස හයකට එහා හිතනවා. අවසාන තප්පරයටම. ඊයේ පෙරේද ඇමති කෙනෙක් ආවා, ඇමති තුමාගේ “schedule” එක මම දැක්කා. 5.35ට එක්කෙනෙක්ව, 5.51ට තව කෙනෙක්ව 6.30ට තවත් වෙනම කෙනෙක්ව හම්බවෙනවා කියලා සටහන් කරලා තිබුනා. ඇමතිතුමා එක තැනකට යනකොට විනාඩි තිහක් පරක්කු වෙලා. ඒ කියන්නේ එයා කතා කරනවා වැඩියි. කතා කරනවා වැඩි වුනාම අර ජපන්නු නැගිට්ටවන්නේ නෑ නේ. ඉතින් ප්‍රමාද වුනා. එතකොට එයා ඊළඟ තැනට ගියෙත් අර විනාඩි තිහේ ප්‍රමාදයත් ඇතිවයි. ඒ යනකොට ඒගොල්ලෝ වෙන රැස්වීමක් පටන් අරගෙන. එක නවත්තලා අපිට අවස්ථාවක් දුන්නා. අපිට ඒගොල්ලෝ වෙන කතාවක් අස්සේ කිව්වා, පිටරට නම් ප්‍රමාදය විනාඩි පහක් කියලා. විනාඩි පහ පැන්නම ප්‍රමාදයි කියල කියනවා. ජපානයේනම් තත්පර තුනයි. තත්පර තුන පැන්නොත් ප්‍රමාදයි. ඒක අපේ ඇමති තුමාට තේරුණේ නෑ. නමුත් මට හොඳට තේරුණා.
ඔබ දකින විදියට ලංකාවේ දියුණුවට ජපානයෙන් ගත හැකි ආදර්ශ මොනවාද ?
මම හිතන්නේ මම අර කලින් කියපු විදියට, ජපානේ මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ට කියන්නේ “ඕසප්පා” (大雑把) කියලා, ඕසප්පා කියන්නෙ වැඩිය දුර දිග හිතන්නේ නැතුව ඒ වෙලාවට ඒක කළා . ඒක එතනින් ඉවරයි . ඊට පස්සේ අතීතය ගැන හිතන්නෙත් නෑ අනාගතය ගැන හිතන්නෙත් නෑ. මෙහෙ මිනිස්සු ඕසප්පා නෙමෙයි කොමකයි නේ. අතීතය දිහා බලන්නෙත් අනාගතය දිහා බලන්නෙත් ඒ විදියට. ඒක හදා ගන්න ඕනේ. සැලසුම් කිරීම, හැමදේම හොඳට හිතල බලල තමයි කරන්නේ. හරි අමාරුයි නේ වචනයක් ගන්න. අපිට දියුණුවෙන්න ඕනනම් ඉහළ සිට පහළටම ආකල්ප වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ජපන් ජාතිකයෙක් බැන්දා කියලවත් ජපන් හොඳින් කතා කලා කියලවත් වෙනස් වෙන්නේ නෑ. ඒකනේ පුදුමේ, ඊයේ පෙරේදා හම්බ වුනා එක්කෙනෙක්, එයා මම හිතන්නේ දැන් ජපානයේ අවුරුදු 40 කට කිට්ටුයි. නමුත් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. අපේ අය මේවා ජීවිතයට එකතුකරගන්නෙ නෑ. ඒකයි අපි දියුණු වෙන්නෙ නැත්තෙ.
ඔබතුමා පත්තරේට ලිපි ලියල තියෙනවා, පොත් ලියල තියෙනවා. සහජයෙන් ලැබුණු ඒ කලාත්මක හැකියාවන් එක්ක ඔබ තුමාට විවිධ ක්ෂේත්‍ර රැසකින් ඉදිරියට යන්න පුළුවන්කම තිබුන නේද?
මගේ තාත්තා චිත්‍රපටි අධ්‍යක්ෂ කෙනෙක්. එයා චිත්‍රපටි ගණනාවක් අධ්‍යක්ෂණය කළා. ප්‍රසිද්ධ ඒවත් කීපයක් තියෙනවා. ඊ ළඟට එයා පුවත්පත් කලාවේදියෙක්. සිළුමිණ පුවත්පතේ. සිළුමිණ පුවත්පත විතරයි තිබුනේ ඒ කාලේ. ලේක් හවුස් එකේ වැඩ කළා. ඒ අභාෂය වෙන්න ඇති ලැබෙන්න ඇත්තේ. මම මෙහෙ පශ්චාත් උපාධියට ඇවිල්ල කලෙත් සිනමාව ගැන. ජනමාධ්‍ය ගැන. ඒ නිසා ඒ පැත්තට යොමුවුනා. පවුලේ බලපෑමයි සහජ හැකියාවයි ඒ ඔක්කොම නිසා ඒ පැත්තට ගියා. ඒක තමයි නිර්මාණකරණයට තල්ලුවෙන්න හේතුව. නමුත් ජීවිතයේ අවස්ථා කීපයකදී මුලදී හීනයක් තිබුනා, චිත්‍රපටි අධ්‍යක්ෂ කෙනෙක් වෙන්න ඕන කියල. නමුත් තරුණ කාලෙට එනකොට ඒක අතහැරුණා. හේතුව තාත්තගේ ජීවිතය දැකලා. ඒවා හරි අසාමාන්‍ය සැනසුම නැති ඒවා බවට පත්වෙනවා මම ඇස් පනාපිටම දැක්කා. සිනමා ක්ෂේත්‍රයේ ඉන්න අයගේ ජීවිතය එහෙමයි කියල තමයි මට හිතුනේ. මගේ අම්මා නැති වුනා අවුරුදු හතරේදී මට. ඒවත් එක්ක ගත්තම ඉතින් මට හිතුන චිත්‍රපට අධ්‍යක්ෂ කෙනෙක් වෙනවා කියන එක ජීවිතයේ එච්චර හොඳ තීරණයක් නෙමෙයි කියල. ඒක නිකන් එහෙම හිතුණා. පත්තරකලාවෙදියෙක් වෙන එකත් ඒ වගේමයි කියල හිතුණා. දවසක් ධර්මරාජ විද්‍යාලයේ මම හොස්ටල් එකේ ඉන්නකොට තාත්ත ඇඳුම් අරන් දෙන්න නුවර ටවුමට එක්කන් ගියාම සපත්තු දෙකක් දැකල මට ඒකට ආස හිතුණා. සපත්තු දෙක කොළපාටයි. තාත්තා ඒක අරන් දුන්නා. කොළ පාට කිව්වට එසේ මෙසේ කොළපාටක් නෙමෙයි. කෙහෙල් දල්ලේ පාට තිබුනේ. ඊට පස්සේ ඒක දාගෙන මම ඉස්කෝලෙට ගියා. ප්‍රින්සිපල් මේක දැකලා අඬගැහුවා. අඬගහල “මොකද මේ සපත්තු දෙක” කියල ඇහුවා. ඊට පස්සේ මම කරබාගෙන හිටියා. මේ මනුස්සයා ඊට පස්සේ ඇහුවා “තමුසෙ තාත්තා වගේ පත්තර කාරයෙක් වෙන්නද හදන්නේ” කියලා. එතකොට තමයි ඒ වෙලාවේ මට හිතුණේ, මේක හොඳ රස්සාවක් නෙමෙයි වෙන්න ඇති කියලා. මම හිතුවේ තාත්තා වීරයෙක් කියලා, මුළු රටම පිළිගන්න. එක ටෙලිෆෝන් කෝල් එකයි පොලිසියට දෙන්නේ, සැකකාරයෝ නිදහස් කරනවා. ඕන තැනක යන්න එන්න පුළුවන්. ඕනෑම මහා හෝටලයකට ගියත් මේ අහවල් කෙනා කියල පිළිගන්නවා. මම හිතුවේ තාත්ත ලොකු විශාල රස්සාවක් කරන කෙනෙක් කියලා. ප්‍රින්සිපල් එහෙම කිව්වම මට හිතුනා, ඒකෙ මොකක් හරි අවුලක් ඇති කියලා. පස්සේ ජනමාධ්‍ය ඉගෙනගත්තට මොකද ඒකට තියෙන ආශාව හිමිහිට නැතිවෙලා ගියා. ඒ වෙනුවට විශ්ව විද්‍යාලය පැත්තට යොමුවුනා ඉතින්.
ඔබතුමා ළමාකාලය ගැන ලියපු ලිපි ගොඩක් තියෙනවා මම හිතන්නේ. ගොඩක් කරදර තිබිල තියෙනවා. ඔබතුමා ආච්චි එක්ක තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඒ ගැන පොඩ්ඩක් මතක් කලොත්.
ළමා කාලය ඉතින් මව නැති නිසා නේද. එහෙම වුනාම ටිකක් දුක්බරයි නේ. ඉතින් ඒක වැළක්විය නොහැකියි. ඒකයි අවුරුදු දොළහක් මම හිතන්නේ හොස්ටල් එකේ. එතකොට කුඩා කාලයේ ඉඳල වැඩිහිටියෙක් වෙනකන් හොස්ටල් එකේ ජීවත් වෙනවා කියන එක්තරා අන්දමකට හොඳයි. ඒ වුනාට කටුකයි. නිවාඩු කාලෙට ගෙදර ආවම සැර ආච්චි අම්ම කෙනෙක් ඉන්නේ. එතකොට ඒක හොස්ටල් එකට එහා. හොස්ටල් එක හොඳයි කියල හිතෙනවා. ඉතින් එහෙමත් එකක් ගත්තම අර ඒවා සමහරවිට ජීවිතයේ තනියෙන් හිතන්න පතන්න පන්නරයක් වෙන්න ඇති කියල හිතෙනවා. නමුත් ඒක ලොකු අඩුවක්.
හොස්ටල් ජීවිතයෙදදි හැම දෙයක්ම පිළිවෙලට කරන්න පුරුදු වුණා. හරියට ජපානයේ ජීවිතය වගේමයි. හරිම පිලිවෙලයි, වෙලාවට නැගිටින්න ඕනේ වෙලාවට කන්න ඕනේ. මම හිතන්නේ මාත් එහෙම පිලිවෙලත් එක්ක තල්ලු වෙන්න ඇති. පොඩි කාලේ මට මතක විදිහට 3 වසරට විතර යනකන් ම ඔක්කොටම බිංදුවයි. මට යන්තම් මතකයි රිපොර්ට් එකේ මේ ළමයා උනන්න්දු කරවන්න කියල ලියල තියෙනවා. ඒත් කෙනෙක් නෑනේ උනන්දු කරවන්න. හොස්ටල් එකට දැම්මට පස්සේ ටික ටික වෙනස් උනා. අවුරුදු දෙකතුනක් යනකොට පළවෙනියා දෙවනියා වෙන්න පුළුවන් වුනා.
හොස්ටල් ජීවිතය කොහොමද ඔබ දකින්නෙ ?
හොස්ටල් ජීවිතයේ හොඳ නරක දෙකම තියෙනවා. ඕනම දෙයක් තනියෙන් දරාගන්න පුළුවන් වුනා. හැබැයි නරක පැත්ත තමයි තමන්ගෙ පවුල, ගම වගේ දේවල් වලින් ඈත් වෙලා තනියෙන් හිතන්න ගත්ත එක.
ඔබතුමා ජාතික රූපවාහිනියේ වැඩ කළා. එහි අත්දැකීම කොහොමද ? ජපානයේ අත්දැකීම් රුකුලක් උනාද ?
මම ජාතික රූපවාහිනිය භාරගන්න වෙලාවෙ මට මතක නෑ ණය තිබුණු ගාන කොච්චරද කියලා. ඒ කියන්නේ ඒක ගොඩගන්න බෑ. මට මතක විධියට මිලියන තුන්සිය හැටක් හරි හැත්තෑවක් හරි පාඩුයි. පඩි ගෙවන්නත් බෑ. එහෙම තත්වයක් තිබුනේ. චැනල් එකේ ජනප්‍රියතාවය හතරවෙනි තැනට වැටිලා තිබුනේ. එහෙම අභියෝගයක් තිබුනේ. ඒ අභියෝගය භාර අරගෙන අවුරුදු දෙකක් යන්න කලින් ඒක කළා. මම රූපවාහිනියෙන් එනකොට මිලියන හයසිය ගානක ස්ථාවර තැන්පතුවක් ඇතිකළා. සම්පුර්ණයෙන්ම කණපිට හැරෙව්වා. ඒකට මට උදව් වුනා මෙහේ වාණිජ රූපවාහිනී නාලිකා. විශේෂයෙන්ම චැනල් ටෙන් දිහා බලල මම ගත්ත අත්දැකීම්.
අවසාන වශයෙන් දැනට ලංකාවේ ඉඳලා ඉගෙනගන්න එන ශිෂ්‍යයන්ට ඔබතුමාගෙන් ලැබෙන ඔවදන් මොනවද?
එක එක ශිෂ්‍යයා ඉගෙනගන්න එන්නේ එක එක අරමුණු ඇතිවනේ නේද. භාෂාව ඉගෙනගන්නවා, ජීව විද්‍යාව ඉගෙනගන්නවා… ඒක මම හිතන්නේ ඒගොල්ලෝ දන්නවා කොහොමද කරන්නේ කියල. ඉගෙනගන්න ගමන් මම කියන්නේ ජපානය ඉගෙනගන්න. ඒ කියන්නේ කොහොමද මේ මිනිස්සු මෙතනට ගියේ කියලා.ඒක තමන්ගේ ජීවිතයටත් ප්‍රයෝජනවත් වෙයි. ඒක ඉගෙනගන්නේ නැතිව විෂය විතරක් ඉගෙනගන්නත් පුළුවන් ඉතින්. නමුත් මේ අවස්ථාව හම්බවෙන්නේ නෑ නෙ හුඟ දෙනෙකුට.
ඒ වගේම කියන්න ඕනේ හැමෝටම, තමන්ටම කියල හීනයක් තියාගන්න කියලා. නිතරම හිතන්න මේ හීනේ සැබෑ කරගන්න පුළුවන් කියල. එහෙම හිතල උත්සාහ කරන්න. හැබැයි ඒ හීන සැබෑ කරගන්න යන ගමනෙදි සමහර දේවල් අත්හරින්නත් සිදුවේවි. ඒ දේවලුත් අපි ඉගෙනගන්න ඕනේ.
______________
සාකච්ඡා කළේ පණ්ඩුක නෙළුවල, විමර්ශ සිල්වා, සශිනි ස්ටෙම්බෝ
සකස් කළේ සචිත් ලියනගේ, චතුමි කවිරත්න


